October 27, 2019

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

සරදියෙල් ගලේ යටගිය ඉතිහාසය

කොළඹ සිට මහනුවර දක්වා නුවර පාරේ ගමන් ගන්නා ඔබට කෑගල්ල නගරයත් මාවනැල්ල නගරයත් අතරතුරදී ඔබේ වම්පසින් සුවිශේෂී හැඩයකින් යුතු ගිරිකුලක් නෙත ගැටී ඇති වාර ගණන අපමණය. එහෙත් ඉහත කී ගල “ලංකාවේ රොබින් හුඩ්” නමින් ප්‍රචලිත උතුවන්කන්දේ සූර සරදියෙල්ගේ තිප්පොල බව බොහෝ දෙනකු නොදන්නා කරුණකි.සූර සරදියෙල් යනු 19වන සියවස මැද භාගයේදී සුදු ආක්‍රමණිකයන්ට මහත් හිසරදයක් වූ මංකොල්ලකරුවෙකි. විශේෂයෙන්ම ඉංග්‍රීසි ප්‍රභූන්ගෙන් සහ තැපැල් කරත්තයෙන් සොරකම් කළ සරදියෙල් ඇතුළු ඔහුගේ කණ්ඩායම, ඔවුන් කොල්ලකෑ දෑ ගම්මුන් අතර බෙදා දුන්හ. මේ නිසාම සූර සරදියෙල් “ලංකාවේ රොබින් හුඩ්” නමින් විරුධාවලි ලැබීය.කන්ද උඩරටට පිවිසෙන නිමේෂයෙහි පිහිටා ඇති මෙම මනරම් පර්වතය තරණය තරමක් වෙහෙසකරය. සරදියෙල් ගලේ මුල් භාගයේ රබර් වගා කර ඇතත් ඉහළට ගමන් ගන්නා ඔබ පිවිසෙනුයේ කැලෑ ප්‍රදේශයකය. ගල මුදුනත එළිමහන් ගල් තලාවක් වන අතර එහි කොණෙක කොතක් වන් වූ උස් ශීර්ෂයකි. මෙම පර්වතය පුරා සරදියෙල් ඇතුළු සඟයින් සැඟව සිටි ගුහා පැතිර පවතින බව වාර්තා වේ.පැයක පමණ කාලයක් තුල නැගිය හැකි සරදියෙල් ගලේ මුදුනේ සිට අවට සුන්දරත්වය මනාව රසවිඳිය හැකිය. මාවනැල්ල නගරයත් අවට ග්‍රාමීය පරිසරයත් ඔබේ දෙනයන පිනවන අතර අවටින් හමා එන සිහිල් සුළං දහර ඔබේ ගමන් විඩාව නිවනු නොඅනුමානය. සරදියෙල් ගලට යනෙන මගදී ඔබට කූඩැල්ලන්ගෙන් කරදර විඳීමට සිදුවනු ඇති බව සිත තබාගන්න

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටා ඇති උතුවන්කන්දට ලඟා වීම පහසුය. කොළඹ ප්‍රදේශයේ සිට මහනුවර දක්වා ගමන් කරන විටදී කෑගල්ල නගරයත් මොලගොඩ ප්‍රදේශයත් ඔබ පසු කර යා යුතුය. එසේ ගිය පසුව ඔබගේ වම් අතපසට ‘උතුවන පාර’ නමින් පාරක් හමුවන අතර එකී පටු මාර්ගය ඔස්සේ කි.මි.1ක් පමණ ගිය පසු හමුවන දෙමංසන්ධියෙන් වමට (කන්ද උඩට) තරමක් දුර ගිය පසු ඔබගේ රථය ගාල් කර පාගමිනින් කන්ද තරණය කළ යුතුය. මහනුවර දෙසින් ගමන් ගන්නේ නම් මාවනැල්ල නගරය පසු වී කි.මි.2ක් පමණ කොළඹ දෙසට ධාවනය කළැ යුතුය. මාවනැල්ල පසු කර එන ඔබට උතුවන පාර උතුවන්කන්ද මංසන්ධිය පසුකරනවාත් සමඟම සොයා ගත හැකිය ඇත.උතුවන්කන්දේ සිට කොළඹ දෙසට වන්නට පිහිටි පින්නවල අලි අනාථාගාරය මෙන්ම මහනුවර අශ්‍රිතව පිහිටා ඇති ශ්‍රී දළදා මාළිගය, පේරාදෙණිය මල්වත්ත, උඩවත්ත කැලයද කාගේත් අවධානයට පාත්‍ර විය යුතුය. මීට අමතරව පිළිමතලාවේදී A1 මාර්ගයෙන් නික්ම ළඟා විය හැකි ලංකාතිලක සහ ගඩලාදෙණි විහාරත්, ඇම්බැක්ක දේවාලය සහ අම්බලමත් ගම්පොල සහ මහනුවර යුගයේ ප්‍රෞඩත්වය මැනැවින් විදහා පානු ලබයි.සරදියෙල් ගල පාමුල “සරදියෙල් විලේජ්” නමින් නිවාඩු නිකේතනයක් පවත්වා ගෙන යනු ලබන අතර එය “සූර සරදියෙල්” තේමාව යටතේ ක්‍රියාත්මක වීම සුවිශේෂීත්වයකි. ග්‍රාමීය ආහාරපාන සපයන මෙම නිකේතනයේ නවාතැන් පහසුකම් මෙන්ම දෛනික සංචාර සඳහා පහසුකම්ද සපයනු ලැබේ.