October 25, 2020

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

බෞද්ධ කොඩියේ යටගිය ඉතිහාසය

ඒ මෙරට විජාතික බලවේග වැජඹුණු ඉංග්‍රීසි යටත් විජිත යුගයයි. එම මිෂනාරි බලවේගවලට එරෙහිව වර්ෂ 1884 ජනවාරි මාසයේ කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට රැස් වූ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ඇතුළු බෞද්ධ පිරිසක් බෞද්ධ ආරක්ෂක සභාව පිහිටුවා ගත්හ. ඊට පසු බුද්ධාගම නගා සිටුවීමේ වැඩසටහන් ආරම්භ කළහ. වෙසක් පෝය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ඉංග්‍රීසි පාලකයන් උනන්දු කරවීම එහි එක් පියවරකි. ඒ වෙහෙසේ ප්‍රතිඵලයක් ලෙස 1885 මාර්තු 27 දින වෙසක් පෝය නිවාඩු දිනයක් ලෙස සඳහන් ගැසට් පත්‍රය නිකුත් විය.බෞද්ධ ආරක්ෂක සභාව විසින් වෙසක් දින එසවීමට බෞද්ධ කොඩියක් පිළියෙළ කිරීමට කමිටුවක් පත්කළ අතර කොටහේන දීපදුත්තාරාමාධිපති මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමි, හික්කඩුවේ සුමංගල නාහිමි ඇතුළු බෞද්ධ වියතුන් පිරිසක් එයට ඇතුළත් වූහ. කොඩිය සඳහා සැලසුම් කිහිපයක් ඉදිරිපත් වූ අතර ඒ අතරින් කරෝලිස් අජිත් ගුණවර්ධන ඉදිරිපත් කළ ෂඩ් වර්ණ බුදුරැස් නිරූපිත කොඩියට කමිටුවේ අනුමැතිය ලැබුණි.මෙම බෞද්ධ කොඩිය අප රටේ මුල්වරට එසවුණේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ පින්බර සුරතින් කොටහේන දීපදුත්තාරාම විහාරයේ බුදුගෙය ඉදිරිපිට මළුවේය. ඒ 1855 අප්‍රේල් 28 වැනි වෙසක් පොහෝදාය. එදිනම බොරැල්ල, හුණුපිටිය, කැලණි විහාරය සහ කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සංගම් ශාලා භූමියේදී ද කොඩිය එසවිණි.එදා මුල්වරට බෞද්ධ කොඩිය එසවූ පිංබිමේ අදත් කොඩිගසක ලෙලදෙන බෞද්ධ කොඩියක් දැකග හැකිය. “මේ කොඩි ගස නිර්මාණය කළේ 2010 අප්‍රේල් 28 දාට යෙදුණු වෙසක් දිනයේදීයි. ඒ වෙනුවෙන් සමරු ස්මාරකයක් ලෙසින් මේ කොඩිගස නිර්මාණය කර තිබෙනවා.කොටහේන පොලිස් ස්ථානය අසලින් ඇති වාසල පරේ ගමන් කර මේපීල්ඩ් පාරට පිවිස මඳ දුරක් යනවිට දීපදුත්තාරාම පුරාණ තායි විහාරය දක්නට පුළුවන. සුද්දන්ගේ යටත්විජිත යුගයේ ඇරඹුණු මේ පන්සල කොළඹ නගරයේ පැරැණිම විහාරයයි. එය පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙසද ප්‍රකාශිතය. බෝ, මදාරා, සඳුන්, පොල්, අඹ වැනි ගස්වලින් සෙවණ වූ මෙම විහාර බිම කාර්යබහුල අපිළිවෙළට ඉදිවුණු ගොඩනැගිලි පිරි කොළඹ 15 කොටහේනේ සිත් නිවන ස්ථානයකි. විහාර බිමටම අයිති කුමාර විද්‍යාලය සිසුන් සිය ගණනකට අධ්‍යාපනය ලබාදේ.17-18 වැනි සියවස්වලදී කොටහේන ප්‍රකටව තිබුණේ රෝමානු කතෝලික මධ්‍යස්ථානයක් ලෙසයි. ශාන්ත ලුසියා ආසන දෙව්මැඳුර ඒ අතරින් ප්‍රධාන විය. තවත් දේවස්ථාන කිහිපයක්ම මේ අවට පිහිටි අතර ධනවතුන්ගේ නිවාස පිහිටියේද කොටහේන අවටය. එකල විහාරයක් තැනීමට පවා ආණ්ඩුවෙන් අවසර ගත යුතු විය.

වර්ෂ 1745 දී “රටගිය මුදියන්සේ” නමින් ප්‍රකටව සිටි සවියෙල් තාබ්‍රෙව් උභය කුලතුංග සිරිවර්ධන මහමුදලිවරයා විහාරයක් ඇරැඹීමට ඕලන්ද ආණ්ඩුකාරවරයාගෙන් අවසර ලබාගත්තේය. ඔහු අලුතින් විහාරයක් ඉදිකළේ නැත. අක්කර ගණනාවකින් යුක්තව කොටහේන උස්බිමක පිහිටි තම ඉඩම හා වලව්ව පන්සලක් බවට පත් කළේය. වලව් වැසියන්ගේ සහ ඒ පවුලේ හිතවතුන්ගේ ආගමික අවශ්‍යතා ඉටුකිරීම නිසා මුලින්ම මේ විහාරය (වලව්වේ පන්සල) නමින් හැඳින්විණි. එය 1800 දී පමණ විහාරය මුල්කරගෙන සති පිරිත් පිංකමක් පවත්වන ලද අතර ඊට පසු එය පොදු ජනතාවගේ පිංබිමක් බවට පත්විය.ඕලන්ද යුගයේ ගොඩනැගිල්ලක් වන මෙය පසුකාලීනව ප්‍රතිසංස්කරණයට ලක්ව තිබේ. ඕලන්ද කුලුනු හා ආරුක්කු නිසා විදේශීය ගෘහ නිර්මාණ ලක්ෂණ මෙයට ඇතුළත් වී ඇත. මෙහි පිහිටි බුද්ධ ප්‍රතිමාද බ්‍රිතාන්‍ය යුගයට අයත්ය. ඒ අතරින් පැරැණිම ස්මාරකය වන්නේ මුලින්ම බුදු මැඳුරක් බවට පත්වූ වලව්වේ කාමරයයි. එහි දැවයෙන් කළ තොරණක් යට දෑගසව් පිළිම වහන්සේලා මැද බුද්ධ ප්‍රතිමාවකි. ඊට ඉහළින් බ්‍රිතාන්‍ය ලක්ෂණ පළකරන මල් මෝස්තරය. එයට ඉහළින් බ්‍රිතාන්‍ය රාජ්‍ය ලාංඡනය කැටයම් කර ඇති අතර උඩින්ම දාගැබක් මූර්තිමත් කර තිබේ. ප්‍රතිමා මන්දිරය වඩා පිහිටි බිතුසිතුවම් එතරම් පැරැණි බවක් පළ කරන්නේ නැත.රටගිය මුදියන්සේ මුල් කාලයේදී සීනිගම ධම්මකන්ධ හිමියන් වැඩම කරවාගෙන ආගමික කටයුතු හා වස් වස්සවා ගැනීම ආදිය සිදු කර ගත්තේය. පසුව සීනිගම ධීරක්ඛන්ධ හිමියන් මෙහි ස්ථීරව වැඩවිසූහ.ධීරක්ඛන්ධ හාමුදුරුවන්ගෙන් පසුව කොටහේන පන්සලේ අධිපතිත්වයට පත්වුණේ සුප්‍රකට මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියෝ වෙති. උන්වහන්සේ විහාරයේ වැඩවසමින් පන්තික බලවේගවලට එරෙහිව බුදුදහම නගා සිටුවීමට ඉටුකළ වැඩපිළිවෙළ නිසා දීපදුත්තාරාමය මෙරට පමණක් නොව මූදු හතෙන් එහා පවා ප්‍රකට විය. පංච මහා වාදය, පානදුරා වාදය, උදම්මිට වාදය, බද්දේගම වාදය වැනි වාද නිසා මොහොට්ටිවත්තේ හාමුදුරුවන්ට වාදීභසිංහ යන පටබැඳි නාමය ලැබුණි. උන්වහන්සේගේ වාද පොත් ඉංග්‍රීසි බසින් පිටරටවල පළවිය. අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී මේ වාද කියවූ හෙන්රි ස්ටීන් ඕල්කට්තුමාට ලංකාවට පැමිණියේද ඒ නිසා හටගත් උනන්දුව නිසාය.උන්වහන්සේ වැඩවාසය කළ පැරුණි ආවාස ගෙය අදත් විහාරබිමේදී දැකගත හැකිය. එය පසුගියදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර ඇත.

කොටහේන පන්සල මධ්‍යස්ථානය කරගත් ගුණානන්ද හිමියන් බෞද්ධ පොත්පත් මුද්‍රණය, පුවත්පත් මුද්‍රණය, පත්‍රිකා මුද්‍රණය, ධර්ම දේශනා පැවැත්වීම, පෙරහර සංවිධානය ආදී කටයුතු කරගෙන ගියහ. මේ කටයුතුවලට විවිධ බාධක එල්ලවන්නට විය.දීපදුප්තමාරාමයේ අලුතින් ඉදිකළ බුද්ධ ප්‍රතිමාව 1883 මාර්තු 23 වැනි පුන් පොහෝදා විවෘත කිරීමට යොදාගෙන තිබුණි. එය සංකේතවත් කිරීමට බොරැල්ල මහ පන්සලේ සිට දීපදුප්තමාරාමයට පෙරහරක් සංවිධානය කෙරිණි. පොලීසියෙන්ද ඒ සඳහා අවසරගෙන තිබුණි.පෙරහර සුපුරුදු ලෙස පිටත්වුවද කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානය ඉදිරිපිටින් ගමන් කරද්දී එයට ගල්මුල් ප්‍රහාර එල්ල විය. එදින පිරිස විසිරී ගියද ගුණානන්ද හිමි උපදෙස් දී ඇත්තේ ඊට පසුව පෙරහර සඳහා කොඩි හා මල් සැරසිලි ආදිය නිවසේ ඇති මෝල්ගස්වල බැඳගෙන එන ලෙසයි.පසුව මෝල්ගස් පෙරහර ලෙස එය ප්‍රසිද්ධ වූ අතර පෙරහැරට හිරිහැර කිරීමද ඉන් නැවැතුණු බව පැවැසේ.මිගෙට්ටුවත්තේ හිමියන්ගෙන් පසුව විහාරය පවරා තිබුණේ ඒ හිමියන්ගේ ජාතික මෙහෙවරට විශාල දායකත්වයක් දැක්වූ රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති නාහිමියන්ටය. උන්වහන්සේගේ කාලයේ සියම් රජ කුමරකු වූ ප්‍රිස්දා ජුම්සායි ශිෂ්‍ය නමක් ලෙස මෙරටට පැමිණ පැවිදි විය. අමරපුර නිකායට අයත්ව පැවිදි වූ උන්වහන්සේගේ පැවිදි නම ජිනවරවංශ විය. නමුත් මේ හාමුදුරුවන් ප්‍රසිද්ධ වූයේ (සියම් කුමාර හිමියන්) ලෙසිනි.දීපදුප්තමාරාමය තායි පන්සල හෙවත් සියම් පන්සල බවට පත්වූයේ ජිනවරවංශ හිමියන්ගෙන් පසුවය. උන්වහන්සේගේ යුගයේදී සියම් ලක්ෂණ විහාරයට එක්විය. විහාර මන්දිරය ඉදිරිපිට ඇති තායි සම්ප්‍රදායේ රත්න චෛත්‍යය ඉදිකළේ එම කාලයේදීය. කපිලවස්තුවෙන් සුභූති හිමියන් ලද සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් එක් නමක් එහි තැන්පත් කර තිබේ.මෙම විහාරය සම්බන්ධව ක්‍රියාත්මක වන සියම් සම්ප්‍රදායක් ඊට පසු ආරම්භ විය. ලංකාවට ගොඩබසින සෑම සියම් රජෙක්ම මේ විහාරය වැඳ පුදා ගැනීමට පැමිණීම එම සිරිතයි. එමෙන්ම විහාරයට තෑගිබෝග පිරිනැමීමයි. වාර්ෂික කඨින පිංකම සිදුවන්නේද සියම් රජ පවුලේ දායකත්වයෙනි. වර්ෂ ගණනාවක් මෙරට බෞද්ධ පුනර්ජීවනයට දායක වූ ජිනවරවංශ හිමි 1911 දී සිවුරු හැරදා මෙරටින් පිටව ගියේය. එහෙත් උන්වහන්සේ වැඩ විසූ විහාරයට පැමිණෙන සියම් රාජ්‍ය තාන්ත්‍රිකයන් රෝපණය කළ මදාරා, සඳුන්, රත්හඳුන් ආදී ශාක විහාරබිමේදී දැකගත හැකිය.