September 24, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

ගස් පැවිදි කරන නිල්ගල වනාන්තරය

ශ්‍රී ලංකාවේ දක්‌නට ලැබෙන විවිධ පරිසර පද්ධති හා විවිධ වනාන්තර කලාප අතරින් ඉතා පැහැදිලි සවානා වනාන්තර පිහිටන්නේ නිල්ගල යි. රටේ බොහෝ ප්‍රදේශවල සවානා වනාන්තර දක්‌නට ලැබුණද පුළුල් ව්‍යාප්තියක්‌ පෙන්නුම් කරන කලාපය ඌව පළාත වන අතර මෙහි කොස්‌ලන්ද, බෙරගල, වැල්ලවාය, ඇල්ල, බණ්‌ඩාරවෙල ප්‍රදේශවල සවානා පිහිටියද, බිබිල-නිල්ගල වනාන්තරය ඒ සියල්ල පරයා පැතිර පවතී.සවානා වනාන්තර සාමාන්‍යයෙන් ඖෂධ වනාන්තර ලෙස හැඳින්වේ. ඒ, ඒවායේ පවතින සවානාවලටම ආවේණික වූ ඖෂධ ශාක ප්‍රජාව හේතුවෙනි. වාර්ෂිකව ගිනි ගැනීම්වලට ලක්‌වන මෙම සවානාවල යටි රෝපණය ලෙස තෘණ වර්ග වැඩෙන අතර තැන තැන වැඩෙන ශාක වර්ග සියල්ලක්‌ම පාහේ ගින්නට ඔරොත්තු දෙන ශාක විශේෂ වේ. බිබිල-නිල්ගල ඖෂධ වනාන්තරය මෙවන් දර්ශීය සවානා වනාන්තරයකි.නිල්ගල වනාන්තරය වන හා වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තු දෙකටම අයත් වන අතර ඔවුන්ගේ අණ පනත් මගින් සංරක්‌ෂණය කෙරේ. වනාන්තරයේ නැගෙනහිර කොටස වනජීවි දෙපාර්තමේන්තුවට අයත් වේ. එම ප්‍රමාණය හෙක්‌ටයාර් නවදහසක්‌ (9000) පමණය. වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව යටතේ වැඩි කොටස එනම් හෙක්‌ටයාර් 13000 ක්‌ පමණ පාලනය කෙරේ. මේ අනුව තවත් පැතිරුණු සවානා බිම්ද සමග බිබිල-නිල්ගල වනාන්තරය හෙක්‌ටයාර් 26000 ක්‌ පමණ පුරා පැතිර පවතී. නිල්ගල වනාන්තරය තුළින් ගල්ඔය ගලා බසී.පිහිටීම නැගෙනහිර පළාතේ අම්පාර හා ඌව පළාතේ මොණරාගල දිස්‌ත්‍රික්‌කයන්ට අයත් වේ. මොණරාගල දිස්‌ත්‍රික්‌ වන නිලධාරිවරයා යටතේ පවතින බිබිල, සියඹලාණ්‌ඩුව, මඩුල්ල වන සංරක්‌ෂණ අඩවි මගින් නිල්ගල වනාන්තරය සංරක්‌ෂණය කෙරෙන අතර අම්පාර වන නිලධාරිවරයා යටතේ පවතින අම්පාර, මහඔය අඩවිවලටද වනාන්තරය පැතිර පවතී. බිබිල-නිල්ගල වනාන්තරයේ ප්‍රධානතම වන සංරක්‌ෂණ කේන්ද්‍රස්‌ථානය බිsබිල අඩවිය වන අතර මැදගම, බිබිල, නිල්ගල හා ඉඟිනියාගල වශයෙන් බීට්‌ටු හතරකි.වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර කොටස සෘජුවම පාලනය කරනු ලබන්නේ අම්පාර සහකාර වනජීවී අධ්‍යක්‍ෂවරයාට අයත් ගල්ඔය ජාතික උද්‍යානය මගිනි.සමස්‌තයක්‌ ලෙස ගත්කල නිල්ගල වනාන්තරය, මඩුල්ල, මැදගම, බිබිල, ඉඟිනියාගල, අම්පාර යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස යටතට ගැනේ.පිවිසුම් මාර්ග කොළඹ සිට මහනුවර – මහියංගනය – බිබිල හරහා බිබිල – ඉඟිනියාගල මාර්ගයෙන්ද, බිබිල – මඩකලපු මාර්ගයෙන්ද නිල්ගල සවානා වනාන්තරයට ප්‍රවේශ මාර්ග ඇත. නිල්ගල නම් පර්වතය දක්‌වා ඇති මාර්ගය ඉඟිනියාගල මාර්ගයයි. එහි බුළුපිටියෙන් හැරී “නිල්ගල” දක්‌වා ප්‍රවේශ මාර්ගය ඇත.

ගල්ඔය ජාතික උද්‍යානය දක්‌වා බිබිල – ඉඟිනියාගල මාර්ගයෙන් පැමිණිය හැකි අතර වැල්ලවාය-මොණරාගල-සියඹලාණ්‌ඩුව-වඩිනාගල (17 හන්දිය) ඉඟිනියාගල ඔස්‌සේද ප්‍රවේශ මාර්ගයකි.වනාන්තරය තුළ ප්‍රවේශ මාර්ගවන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට අයත් කොටස තුළ සංරක්‌ෂණ ප්‍රවේශ මාර්ග හැර සංචාරකයන් සඳහා පහසුකම් සපයන විශේෂ මාර්ග පද්ධතියක්‌ හෝ සංචාරකයන් සඳහා කඳවුරු බිම්, සංචාරක නිවහන් යනාදිය නැත. එහෙත් ගල්ඔය ජාතික උද්‍යානයට අයත් කොටසේ වනාන්තරය තුළට ප්‍රවේශ මාර්ග සහ කඳවුරු බිම් පිහිටයි.උද්‍යානයෙන් බටහිර කොටස නිල්ගල වනාන්තරයයි. එහි නිල්ගල සිට මකර දක්‌වාද, මුල්ලේගම තුඹරේණුව හරහා කැබැල්ලබොක්‌ක ඔස්‌සේ පොතුලියද්ද දක්‌වාද, දිඹුල්දෙන-කොටබෝව-මහවෙල වශයෙන්ද ජීප් රථ මාර්ග තුනකි. තවද නිල්ගල – මහදොරොව්ව – දිඹුල්දෙන වශයෙන් යෝජිත ප්‍රවේශ මාර්ගයකි. මෙහි මහදොරොව්ව – පොහොන්තොට ඔස්‌සේ ගල්ඔය හරහා පැමිණ උල්හෙල – බදුලුවෙල දක්‌වා තවත් යෝජිත මාර්ගයකි.සේනානායක සමුද්‍ර වේල්ල මත සිට ජලාශය ඔස්‌සේ බෝට්‌ටුවකින් පැමිණ මකර වෙත ළඟාවිය හැකි තවත් අලංකාර ප්‍රවේශ මාර්ගයක්‌ද වේ. (සැතපුම් 18 ක්‌)ගල්ඔය උද්‍යානයට අයත් දස දෙනකු සඳහා නවාතැන් ගත හැකි සංචාරක නිවහන එක්‌ගල්ඔය පිහිටා ඇති අතර, නිල්ගල වනාන්තරය තුළ මකර, නිල්ගල කඳවුරු බිම් දෙකද වර්ෂා සමයේදී ලබාදෙන ඇඳගල ද වශයෙන් කඳවුරු බිම් තුනකි.

භෞතික ලක්‌ෂණ තැන තැන කඳු ගැට හුදකලා පර්වත, දිය පොකුණු, නිම්න, බෑවුම්වලින් සමන්විත නිල්ගල වනාන්තරයේ ප්‍රධාන භෞතික තත්ත්වය සවානා වනාන්තරයයි. කෙටි තෘණ, උස්‌ තෘණ හා හුදකලා ශාක ප්‍රජාව මෙහි ආවේණික ලක්‌ෂණයයි.නිල්ගල, දානිගල, යකුන්නාහෙල, හමනව, කහතත්තාව, මාකඩකන්ද ලෙස හැඳින්වෙන්නේ ප්‍රධාන කඳුගැටයි. එහෙත් නිල්ගල ඒ අතරින් විරාජමානව වැජඹෙන මහා පර්වතයයි. ඖෂධ ශාක ප්‍රජාවකින් ඉතා පොහොසත් මෙම පර්වතය, දර්ශනය වන ආකාරය අනුව නිල්ගල වූවා යෑයි පවතින මතයයි. නිල්ගල හා රතුගල දානිගල වැදි ජනතාවගේ පාරම්පරික ජනාවාස පිහිටා තිබූ ප්‍රදේශ වේ.අක්‌කර 19250 ක්‌ විශාල සේනානායක සමුද්‍රය නිල්ගල වනාන්තරයේ එක්‌ පසෙක වේ. ඉඟිනියාගල, දෙගලවල, දානිගල, උල්හෙල, ගෝවින්ද හෙල, වඩිනාගල වැනි කඳුවැටි නිල්ගල වනාන්තරය වටා පිහිටන අතර නිල්ගල වනාන්තරයට මෙන්ම ගල්ඔය උද්‍යානයටද අලංකාරය සපයයි.නිල්ගල සවානා වනාන්තරය ආශ්‍රිතව වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර පිහිටන අතර නිල්ගලට ඊසාන දිග මෝසම් සුළං මගින් වැඩි වර්ෂාපතනයක්‌ ලැබේ. මෙහි මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1700 කි. මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 20 කි.

අතීත තොරතුරු 1949 දී සේනානායක සමුද්‍රය තැනීමේදී හානියට ලක්‌වු වනාන්තර බිම් වෙනුවෙන් මෙන්ම සේනානායක සමුද්‍රයේ ජල පෝෂිත වනාන්තරයක්‌ සේ 1954 පෙබරවාරි 12 වැනිදා ගල්ඔය උද්‍යානය රජය මගින් පිහිටුවනු ලැබීය. ශ්‍රී ලංකාවේ තෙවැනි ජාතික උද්‍යානයද වන මෙය අද නිල්ගල වනාන්තරයට ආරක්‌ෂාව සපයන ප්‍රධාන රක්‌ෂිත භූමියක්‌ වේ.වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට අයත් නිල්ගල වනාන්තර කොටස පවතින්නේ අවශේෂ කැළෑවක්‌ වශයෙනි.ඓතිහාසික තොරතුරුගල්ඔය වනෝද්‍යානය හා නිල්ගල වනාන්තරය තුළ නිසි පරිදි පුරාවිද්‍යාත්මක ගවේශන සිදුව නැති නමුත්, පුරාවිද්‍යා වැදගත්කමින් යුත් ස්‌ථාන ගණනාවක්‌ මෙහි වේ. නිදසුනක්‌ සේ ගන්නේ නම් ඇඳගල එවන් ස්‌ථානයකි.සවානා වනාන්තරයට මායිම්ව ගල්ඔය උද්‍යානයේ දකුණු බටහිර මායිම් දිවෙන්නේ බදුලුවෙල, කොටබෝව, දිඹුල්දෙන, මහවෙල, නිල්ගල, උල්හෙල, පොහොන්තොට, දානිගල, පොතුලියද්ද, තූඹරේනුව, මුල්ලේගම ඔස්‌සේය.මෙම ගම්මාන බොහොමයක්‌ 1818 වෙල්ලස්‌ස කැරැල්ලත් සමග බිහිවූ ගම්මාන ලෙස සැලකේ.

ජෛව විවිධත්වය ශාක ප්‍රජාව නිල්ගල වනාන්තරය පූර්ණ වශයෙන්ම සවානා වනාන්තරයක්‌ වන අතර වනාන්තරය තුළින් ගලායන ගල්ඔය දෙපස ගංගාධාර වනාන්තර දක්‌නට ලැබේ.සවානා වනාන්තරය සමන්විත වන්නේ අරළු, බුළු, නෙල්ලි ශාක ප්‍රජාව ප්‍රමුඛ ගම්මාළු, මඩු, කහට, ගල්සියඹලා වැනි කාෂ්ඨ§ය ශාකවලිනි. කුඩුම්බේරිය, කුකුරුමාන, පැඟිරිමාන, මාන, ඉළුක්‌ වැනි ශාක තෘණ පිටිවල ඇත. ගංගාධාර වනාන්තරවල හමුවන්නේ කුඹුක්‌, තිඹිරි වැනි ගස්‌ වර්ගය.සත්ත්ව ප්‍රජාවවන අලින් සැලකිය යුතු ප්‍රමාණයක්‌ නිල්ගල වනාන්තරය තුළ වෙසේ. නිල්ගල පර්වතය පවතින ප්‍රදේශය ඇතුලු ගල්ඔය වනෝද්‍යානය දක්‌වා මොවුන්ගේ පුළුල් පැතිරීමක්‌ පෙන්වයි. එසේම ගෝනුන්, මුවන්, කුළු හරකුන් ද නිල්ගලින් වාර්තා වේ. ඌරා, නරියා, හඳුන් දිවියා, ඉත්තෑවා, කබල්ලෑවා, උගුඩුවා, කළවැද්දා, මුගටියා, උරුලෑවා, බළල් දිවියා, කොළ දිවියා පමණක්‌ නොව කොටියා සහ වළසාද නිල්ගලින් වාර්තා වේ.ක්‍ෂීරපායින් හැරුණු කොට නිල්ගල වනාන්තරය ඉතා ප්‍රකටව ඇත්තේ කුරුල්ලන්ටයි. වියළි කලාපීයව වෙසෙන සෑම වනබද කුරුල්ලෙක්‌ම පාහේ නිල්ගලින් වාර්තා වේ. ඒ අතර නේවාසික පර්යටනික හා ආවේණික කුරුල්ලෝද වෙති. වළි කුකුලා, හබන් කුකුළා, මුදුන් බොර දෙමලිච්චා, අළු කෑදැත්තා, වත රතු මල්කොහාවැනි ආවේණික කුරුල්ලෝ ද, පතන් කුකුළා, මහ කවුඩා, නීල කන් පිළිහුඩුවා, ළය සුදු පිළිහුඩුවා, කොණ්‌ඩයන්, දෙමලිච්චන්, බෝල වටුවා, කහ කුරුල්ලා, සිවුරු හොරා වැනි වනබද කුරුල්ලන් හා ගල්ඔය ආශ්‍රිතව දියකාවා, සුදු කොකුන්, ඇඹල කොකා, තඹසේරුවා සහ තිත්හොට පැස්‌තුඩුවා වැනි ජලාශ්‍රිත කුරුල්ලන්ද නිල්ගල ආශ්‍රිතව වෙසේ.උභය ජීවීන් පිළිබඳව ප්‍රමාණාත්මක පර්යේෂණ සිදු කෙරී නැත. උරග පර්යේෂණ අනුව ලංකාවේ දක්‌නට ලැබෙන සෑම වියළි කලාපීය උරගයකුම නිල්ගලින් වාර්තා වේ. පිඹුරන් හා කිඹුලන්ද මෙහි වෙසෙන අතර උග්‍ර විෂ සහිත සර්ප විශේෂද ඒ අතර වේ. නයා, තිත් පොළඟා, මුදු කරවලා, තෙල් කරවලා, පොළොන් තෙලිස්‌සා ඒ අතර වේ. සමනලුන් හා බිඟුන් සඳහා ද නිල්ගල ප්‍රකට අතර මී වද හා බඹර වද පිහිටීම අතින් නිල්ගලට ප්‍රමුඛ තැනක්‌ හිමි වේ.