September 24, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

බයිසිකලයේ ගමන් යන නෙදර්ලන්ත අගමැති

නෙදර්ලන්තයේ මිනිසුන්ගේ ඇති ආචාරශීලී ස්වභාවය මෙන්ම අල්පේච්ච බවද ප්‍රසිද්ධ දෙයකි.යුරෝපයේ දී කලබලයක් ඇතිවී කෙනෙක් ඔබට “පලයන් යන්න ! [Get out !] කියා කිවහොත්, එය නෙදර්ලන්තයේ කෙනෙක් කියන්නේ, “කරුණාකර මෙතනින් ඉවත් වන්න ! [Please leave this place !] සේය යන්න නෙදර්ලන්තයේ ආප්තෝපදේශයකි .ඔවුන්ගේ අල්පෙච්චතාවය ගැන නම් මට මගේම අත් දැකීමක් ඇත.නෙදර්ලන්තයේ සිට ලංකාවට පැමිණි අයගෙන් පැවත එන අය කීප දෙනෙක් මගේ හිතවතුන් විය. තේ වෙළඳාමේ යෙදුනු ඒ එක හිතවතෙක් ගේ නිවසකට ගිය විට දැනුණේ බොහෝ ස්වභාවික පරිසරයක ඇති සාමය සතුට පිරි නිවසක් ලෙසිණි. මල් වත්ත දෙව් ලොවක් මෙන් විය. කොහොමත් නෙදර්ලන්තයේ මිනිසුන් මල් කාමී ජාතියකි. ඔහු තේ එකක් හැදීමට කුස්සියට ගිය අතරේ මා ඔහුගේ නිවසේ සාලයේ හිඳ ගෙන සාලයේ ඇති දේවල් බලමින් සිටියෙමි. මා එය දෙස විශේෂ උනන්දුවකින් බැලුවෙමි.එහි රැළි සහිත රෙදි කවර ඇතිව මැනැවින් සකස් කර තිබුණු පුටු සැටිය ඕනෑම කෙනෙක්ගේ සිත ඇද ගන්නා දෙයක් විය.රෙදි කවරය ඔසවා බැලීමේදී දුටු දෙයින් පුදුම වුනෙමි. ඒවා තේ අඩුක්කු කරන ලද පකිස් පෙට්ටි එකිනෙක සම්මබන්ද කල සැකිල්ලක් විය. මේ අතරම් සුන්දරව සකසන ලද මුළු පුටු සෙටියේම මිළ එම රෙදි කවරයේ මිළ පමණක් වන්නට ඇත. නමුත් එහි තිබුනේ රුපියල් ලක්‍ෂ ගණනක පෙනුමැති පුටු සෙටියකි. ඔහුගේ මුතුන් මිත්තන් වන නෙදර්ලන්ත ජාතිකයන්ගෙන් මේ ගති ගුණ ඔහුට එන්නට ඇත. නෙදර්ලන්ත ජාතිකයන් ගේ අල්පේච්ච බවට ඔවුන්ගේ දක්‍ෂතාවයද මැනවින් සම්බන්ද වී ඇත්තේ අතීතයේ සිටමය.නගරයේ හෝ ග්‍රාමීය පරිසරයක වුවද වත්තේ හැකි පමණින් කුඩාවට හෝ එළවළුවක් වැවීම ඔවුන්ගේ සිරිත වේ. නෙදර්ලන්තයේ ඇති විශේෂ දෙයක් වන්නේ කෘෂි කාර්මික දේවල් වලට පළඳින ලී සපත්තුය. මේවා කෙනෙක්ගේ පාදයට වඩා විශාල වේ. පාත්තයෙක් සේ ඒ ඇවිදින ඇවිදිල්ල දුටුවොත් ඔබ එයට සිනහ වෙනු ඇත. එහෙත් ඒ සපත්තුවේ නිර්මාණයෙන් පවා ඔවුන් දක්ෂයන් බව පෙන්වා ඇත.මක්නිසාදයත් සපත්තුවේ පතුලේ වර්ග ඵලය වැඩි නිසා මඩ සහිත ජලයේ එරීම අඩු වන හෙයිණි.

තවද මේ මිනිසුන් තරම් රාජකාරියේදී එයට සිත යොමු කරන ආකාරයත්, ඉන් පසු විනෝද වීමේදී ඒ විනෝද වීමත් උපරිම සේ කරති. [Work while work & play while play] ඒ දෙකේ සම්බන්දයක් ඔවුන්ගේ නැත. අපත් එසේද ? මා හිතන්නේ නම් කිසිසේත් නැත යන්නය. රාජකාරියේදී අපි අන් දේ කරමු. විනෝද වීමේදී අපි රාජකාරි ස්ථානයේ වූ දේ ගැන කතා කරමු. ඒ දෙක දෙකක් බව අප බොහෝ දෙනෙක් අවබෝධ කර ගන්නේ නැත.ප්‍රසිද්ධ ‘හයිනකන්’ බියර් කර්මාන්ත ශාලාවට වක්‍රව සම්බන්ද වූ නෙදර්ලන්තයේ ආයතනයක කාලයක් සේවය කලෙමි. මිනිසුන් සති දිනවල යක්කු මෙන් මහන්සි වී සේවය කරති. එහෙත් සිකුරාදා දින දිවා කෑම විවේකයෙන් පසු සේවය කිරීමක් නැත. ලොක්කෝ මෙන්ම සුළු සේවකයෝද හයිනකන් කර්මාන්ත ශාලාවෙන් තෑගී සේ ලැබුණු බියර් බොමින්, සින්දු කියමින්, ගිටාර් ගසමින් සතුටු වෙති. Work while work & play while play තත්වයට ලංකාවේ අප කවදා නම් ළඟා වෙන්නෙමුද ?නෙදර්ලන්තයේ බොහෝ භුමි කොටස් මුහුදු මට්ටමට පහළින් පිහිටා ඇත. ඒ භුමින් මුදවා ගත් ආකාරයද අපූරු කතාවකි.ඒ යටවූ ගොඩබිමේ ජලය නැවත මුහුදට යවා ජීවත් වන්නට සුදුසු භූමින් තැනීමට ඔවුන් භාවිතා කල පොම්ප ක්‍රියාත්මක කලේ, සුළං මෝල් වලිනි. ඒ සුළං මෝල් වල එකම එක යකඩ ඇනයක් වත් තිබුනේ නැත. සියළු මෝල් තනා තිබුනේ ලී සහ මැටියෙනි. එක මෝලක් කොපමණ විශාලද යත්, එවැනි මෝලකට සම්බන්ද කර ඇති පොම්පයෙන් තත්පරයකට ජළය ගැලුම් හතළිහක් පොම්ප කල හැකි විය. මේ ආකාරයේ සුළං මෝල් හාරසීයක් අවුරුදු හතළිහක් ක්‍රියාත්මක කර ජළයෙන් යටව තිබුණු රට ගලවා ගැනීමට ඔවුන්ට හැකි විය.මේවා කලේ කාබන් විමෝචනය යන නම ගැන අහන්න වත් නොතිබුණු අවදියක විය. ඒ සඳහා එක තෙල් බිඳුවක් ඔවුන් වියදම් කලේ නැත. ඒ ක්‍රමය අදත් වෙනස් වී නැත. ඔවුන්ගේ මෙට්‍රෝ දුම්රිය දුවවන්නේ සුළං මෝල් වලින් එන බල ශක්තියෙනි. එසේම මේ ලොව වනසන කාබන් ව්‍යසනයට ඔවුන්ගේ නායකයන් ආදර්ශයෙන් ක්‍රියාත්මකවීමද පැසැසිය යුතු දෙයකි.නෙදර්ලන්ත අගමැති මාර්ක් මහතා [Mark Rutte] ඔහුගේ කාර්යාලයට යන්නේ පදින බයිසිකලයකිනි. ඔහු World Economic Forum යන කමිටුවට මෙසේ කියයි. … “වසර දහයක් තුලම බයිසිකලයක් පැදීමට මට නොහැකි විය”… “එහෙත් පසුගිය වසර දෙක තුල බයිසිකලයෙන් සේවයට පැමිණීම ආරම්භ කලෙමි. මෙය ලංකාවේ දේශපාලුවන් සමඟ සංසන්දනය කිරීමට ඔබට භාරය.මේ සඳහා එක සාක්ෂියක් සේ කිසියම් දේශපාලනඥයෙක් ලංකාවේ ඇති ත්‍රී වීල ගැන කියූ දෙයක් සඳහන් කරනු කැමැත්තෙමි. … “ලංකාවේ ඇති වී තියෙන දියුණුව තේරුම් ගැනීමට නම්, ලංකාවේ වැඩි වූ ත්‍රී වීල ප්‍රමාණය බලන්න”… මේ කතාව එම මන්ද බුද්ධික දේශපාලනඥයා කී දේ විය. රටක දියුණුව ඒ රටේ ජනතාවට අයත් පුද්ගලික වාහන වලින් මැනීම ඒ දියුණුවේ අඩු පාඩුවක් වන්නේය. දියුණුව මැනිය හැක්කේ, කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවා වැඩිවන විටදීය.

උදාහරණයක් සේ, බොහෝ ජපන් ජාතිකයන්ට රියදුරු බල පත්‍රය නැත. එහි අවශ්‍යතාවයක් ඔවුන්ට නැත.නෙදර්ලන්ත ජාතිකයන් තරම් පදින බයිසිකලයට ආදරය කරන ජාතියක් සමහරවිට ලෝකයේ තවත් නැතිවාක් වෙන්නට ඇත. 2018 වසරේ ගන්නා ලද සංඝනණයකින් එහි සිටින මිලියන 17 ක ජනතාවට වඩා රටේ බයිසිකල් ඇති බව සොයාගන්නා ලදී. බයිසිකලයක් නැති වී පොළිසියට පැමිණිලි කරන කෙනෙක්ට ලැබෙන්නේ අපූරු උත්තරයකි. ඇත්තටම උත්තරයක් දෙන්නේ නැත. ඔවුන් සිනහ වෙමින් නොකියා කියන්නේ, … “ඔබේ බයිසිකලය නැති වුනා නම්, ඔබත් තව කොහෙන් හෝ එකක් අරගන්න”.. සේය.මිලියන 23 ක බයිසිකල් ප්‍රවේශම් කිරීම නෙදර්ලන්ත පොලිසියට ප්‍රායෝගිකව කල නොහැකි රාජකාරියකි.නෙදර්ලන්තයේ රාජකාරී කිරීම සඳහා යන අයගෙන් හතරෙන් එකක් බයිසිකල් භාවිතා කර ඒ රැකියාවන් කිරීමට යති. එයට හේතු වන්නේ පරිසරය ගැන මිනිසුන්ගේ ඇති ආකල්පය මෙන්ම පාරවල් වල ඇති රථවාහන තදබදයද හේතුවෙනි. බයිසිකල් පැදීම හෘද රෝග, දියවැඩියාව වැනි රෝග වලට පිළියමකි. මේ නිසා ශරීර සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂයෙන් කාලය වෙන් කර කල යුතු ක්‍රීඩා නෙදර්ලන්ත ජාතිකයාට අවශ්‍ය වන්නේ නැත.සාමාන්‍ය වාහන ධාවනය වන පාරවල් වලට අමතරව රටේ කිලෝ මීටර් 35,000 ක පදින බයිසිකල් සඳහාම වෙන් වුනු, ඊට අවශ්‍ය වන පාරවල් ඇත. ළමුන් බොහොමයක් පාසැල් වලට යන්නේද මේ අයුරෙනි. රෝද තුනේ සයිකල් වලින් කෙටි දුරක් පදිමින් පාසැල් යන කුඩාම ළමයින් පවා සිටී. නගරයක් නිර්මාණය කරන විට පාරවල් වලට විශේෂ ස්ථානයක් ලබා දේ. වාහන ධාවනය වන බොහෝ පාරවලට සමාන්තරව කුඩා බයිසිකල් යෑමට හැකි කුඩා පාරවල් ඇත.පදින බයිසිකලයෙන් රාජකාරියට, කඩ පොළට හෝ පාසැලට යාම, වාහනයකින් ඒ ගමන් යනවාට වඩා සුරක්ෂිත වේ. ඒ නිසා රටේ වසරකට ඇති විය හැකි 6000 ක් මරණ සංඛ්‍යාව සහ එමෙන් කිහිප ගුණයක් විශාල අනතුරු සංඛ්‍යාවක් වළක්වා ගැනීමට නෙදර්ලන්තය සමත් වී තිබේ.