September 27, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

වෙදකම ඉගෙන ගන්න සුදු නෝනලා

අපේ ඇතැමුන් අපේම කියා ඇති බොහෝ දේ ප්‍රතික්ෂේප කරන්නේ අපේකමට නිගා දෙමිනි. එහෙත් අපේ දෙයෙහි වටිනාකමක් දැනෙන නොරටුන් අපේ දේ සොයාගෙන මෙරටට පැමිණෙන්නේ එහි ඇති වටිනා හරබර දේ ඔවුන් හඳුනන නිසා ය. බටහිර ආරෙට නැමුණු සංස්කෘතියට ආවඩනතාක් කල් අපේ වටිනාකම් අපේ සිතේ පැළපදියම් වන්නේ නැත. එහෙත් අපට උරුම වූ සංස්කෘතියක් අපට ඇත්තේ ය. ගැමි සුවඳ වහනය වන අපේකමටම උරුම වූ ඉපැරැණි දේශීය වෙදකමක් අපට ඇත්තේ ය.ලොවට වෛද්‍ය විද්‍යාවේ හාස්කම් පෙන්වා දුන්නේ බටහිර ජාතීන්ය. එහෙත් එ් බටහිර ජාතීහූ දැන් අපේ දේශීය වෙදකමේ ‍හාස්කම් මැනවින් පසක් කරති. මේ කියන්නට යන්නේ අපේ දේශීය වෙදකම ජාත්‍යන්තරයේ ගරු බුහුමනට ලක්වූ අපූරු කතාවකි. ‘අප නොහඳුනන අපේකම‘ සොයා ඔවුන් පැමිණියේ මහ සමුදුර තරණය කරමිනි. ඔවුන්ගේ මේ ආගමනය, දේශීය වෙදකමට ගරහමින් බටහිර වෙදකම පසුපස දිවෙන අපේ කාලයේ ඇත්තන්ට මනා ආදර්ශයක්ද වනු නොඅනුමාන ය.ඉඳහිට දිවෙන වාහනයක් දෙකක් හැරෙන්නට හබරණ අනුරාධපුර මාර්ගයේ ඇත්තේ වෙනදාටත් වැඩියෙන් මහා පාළු ගතියකි. මහ කැලය අරක්ගත් සතා සිවුපාවට අමතරව බොහෝ දෙනෙක් මේ කැලය පීරන්නේ ඔසුවකට සුළු අත් බෙහෙතක් සොයා ය. ගහ කොළවලට නව ජීවයක් දෙන මේ මඟේ වූ හෙළ වෙද ගෙදර ඇත්තේ කවුරුත් පාහේ දැන හඳුනන හොරිවිල ගමේ ය. අනුරාධපුර හබරණ මාවතේ නව වැනි කිලෝ මීටරය පසුකරන විට හමුවන හොරිවිල හන්දියෙන් වමට දිවෙන පාර ඇත්තේද මේ හොරිවිල වෙද ගෙදර සරණ පතා යන එන රෝගීන්ට ය.ගමෙන් හමනා ගැමි සුවඳට අමතරව, ගහ කොළ වලින් හමනා බෙහෙත් සුවඳ ගව් ගණනක් සිසාරා ඈතට දිව යන්නේ මේ වෙද ගෙදරිනි. ඒ අනේක වූ ව්‍යාධිවලින් පෙළෙන රෝගීන්ට නව ජීවයක්ද එක් කරවමිනි. කල් ගිය රෝගයනට සුවයක් නොලද බොහෝ දෙනකු මේ වෙද ගෙදර සරණ පතා එන්නේ මෙහි වූ ජීවක වෙද මහතා වන ශාන්ත සෙනෙවිරත්න මහතාගෙන් පිහිට පතමිනි. එසේ දුර බැහැර සිට පැමිණෙන බොහෝ දෙනෙකු විඩාව නැවතත් සිය ගම්දොර බලා පිය මනින්නේ ජීවිතයට නව බලාපොරොත්තුවක් එක් කරමිනි.ඒ එන්නන් අතර විදේශිකයන්ද බොහෝය. එනමුත් රෝගයකට ප්‍රතිකාර පමණක් නොව ඉන් එහා ගිය යමක් මේ වෙද ගෙදරින් ජාත්‍යන්තරයට එක්කරන්නේ අපේ දේශීය වෙදකම ලොව පුරා පතළ කරමිනි. වෛද්‍ය විද්‍යාව ඉතා දියුණු බටහිර රටවලින් අපේ වෙදකම ඉගෙන ගැනීමට මේ විදේශීය සිසුන් පැමිණෙන්නේ අපේ දේශීය වෙදකමේ අගය ඔවුන් මැනවින් දන්නා නිසා ය. අද හොරිවිල වෙදගෙදර බෙහෙත් කොටන්නේ, බෙහෙත් අඹරන්නේ, ඔසු සොයන්නේ, රෝගීන්ට හෙළ වෙද අත් බේතින් ප්‍රතිකාර කරන්නේ විදේශීය සිසුන් ය. එංගලන්තය, බෙල්ජියම, ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය හා චීනය වැනි රටවලින් පැමිණෙන විදේශීය වෛද්‍ය සිසුන්, හෙද සිසුන් හ‍ා ‍භෞත චිකිත්සකයන් හොරිවිල වෙද ගෙදර සිට අපේ වෙදකර්මය ගැන අත්පොත් තබන්නේ ශාන්ත බණ්ඩාර වෙදැදුරුතුමාගේ ආශිර්වාදය ලබමිනි.“ අපේ හෙළ වෙදකම ගැන විදේශිකයන් අතරේ තියෙන්නේ දැඩි විශ්වාසයක්. එදා සිට අද දක්වාම විදේශිකයන් එනවා අපේ බෙහෙත්වලින් රෝග සුව කර ගන්න. විදේශිකයින්ට අපේ බෙහෙත් ගැන හිත වැටුණු එක අපට අලුත් දෙයක් නෙමේ. ඒත් දැන් දැන් විදේශීය විශ්ව විද්‍යාලවලින් වෛද්‍ය සිසුන් වගේම හෙද කර්මය හදාරන සිසුන් එනවා අපේ වෙදකම ගැන ඉගෙන ගන්න.

මගේ හොරිවිල වෙද ගෙදරට විදේශීය රටවලින් වෙදකම ගැන ඉගෙන ගන්න මේ සිසුන් එන්න ගත්තේ 2011 වසරේ සිටයි. ඔවුන් වෙද ගෙදර සිට දේශීය වෙදකමේ අත්දැකීම් ලබා ගන්නවා. බේත් කොටන හැටි, බේත් අඹරන හැටි, බේත් බඳින හැටි, පත්තු බඳින හැටි, අපේ සිංහල වෛද්‍ය ක්‍රමයට අනුව ලෙඩේ හොයා ගන්න හැටි, තෙල් ගාන හැටි, නස්න කරන හැටි හැම දෙයක්ම මගෙන් අහලා ඉගෙන ගන්නවා. මේ වන විට හොරිවිල වෙද ගෙදරට හත් අට සීයක් විතර වෛද්‍යවරුන්, හෙදියන් වගේම ඖෂධවේදීන් වෙන්න ඉගෙන ගන්න විදේශීය රටවල දරුවන් ඇවිත් දැනුම ලබාගෙන තියෙනවා. මේ එන අය මුල් තැන දෙන්නේ වෙදකම හඳනාගැනීමට අපේ වෙද මහත්වරු තුළ තියෙන දක්ෂතාවයට. ඒ අය පුදුම වෙනවා අපේ දේශීය වෛද්‍යකර්මයේ ලෙඩ හඳුනා ගැනීම කරන ආකාරයට. ඒ වගේම අපේ ගහ කොළ යොදාගෙන සකස් කරන බේත්වලින්, බටහිර වෙදකමින් පවා හොඳ කරගන්න නොහැකි වූ ලෙඩ රෝග හොඳ කිරීම ගැනත් ඒ අය පුදුම වෙනවා.බටහිර වෙදකමේ සිරුරට ඕන තරම් කැල්සියම් දෙන්න පුළුවන්. නමුත් එය නවත්වන්න ඒ අය ළඟ බෙහෙත් නැහැ. ඒත් අපේ වෙදකමේ මෙයට බෙහෙතක් තියෙනවා. බටහිර වෙදකමේ පේශි තද වුණොත් නවත්වන්න බෙහෙත් නැහැ. නවත්වන්න පුළුවන් ව්‍යායාම්වලින් විතරයි. ඒත් අපි ගාව මේවාට බෙහෙත් තියෙනවා. ශරීරයේ ඇට දිරුවහම බටහිර වෙදකමේ බෙහෙත් නැහැ. ඒත් අපේ ගහ කොළවලින් හදන්න පුළුවන් බෙහෙත් ඕනැ තරම් අපේ වෙද මහත්වරු ගාව තියෙනවා. මේවා දකින කොට ඒ අයට හරීම පුදුමයි අපේ දේශීය වෙදකම ගැන. මම බටහිර වෙදකමින් කපන්න කියන කකුළට බේත් දාලා සුව කරලා යවන කොට ඒ දරුවන්ට හරීම පුදුමයි. ඒ අය අහනවා මෙහෙම කරන්නේ කොහොමද කියලා.ඇවිදින්න බැරි ලෙඩෙක් ඇවිත් බේත් කරන කොට ඒ අය මට කියනවා ලෙඩා ඇවිදින කොට අපිට බලන්න ඒ රටට පිංතූර එවන්න කියලා. මොකද මේ අය එන්නේ කොටස් වශයෙන්. ඒ නිසා මේ අය ඒ විස්මිත දේවල් ඒ රටට ගියත් මගෙන් අහනවා . මේක අපේ වෙදකමට ආඩම්බරයක්” ශාන්ත බණ්ඩාර වෙද මහතා පවසයි.උදෑසනින් වෙදගෙදරට පැමිණෙන මේ විදේශීය සිසුන් රාත්‍රී වන තෙක් සිය කාලය කැප කරන්නේ අපේ වෙදකම ගැන අත්දැකීම් ලබා ගන්නටය. ඔවුන් ආපසු සිය රට යන්නේ අපේ දේශීය වෙදකමේ අපූරුව තම රටවැසියන්ටත් කියා දෙන්නට ය.“ මම බෙලිජියමේ විශ්ව විද්‍යාලයක වෛද්‍ය විද්‍යාව හදාරනවා. අපි ලංකාවට ආවේ මේ දේශීය වෙදකම ගැන අත්දැකීම් ලබා ගන්න. මේ විදියට ගහ කොළ කොටලා අඹරලා ලෙඩ රෝග හොඳ කරන්න පුළුවන් කියලා අපි කවමදාවත් දැකලා තිබුණේ නැහැ. මේ ක්‍රම අපි භාවිතා කරන ක්‍රමවලට වඩා ගොඩාක් වෙනස්. මෙතැන යන්ත්‍ර සූත්‍ර භාවිතා කෙරෙනවා අඩුයි. ඒත් මෙය හරිම සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් කියලා හිතනවා. ලංකාවේ ගොඩාක් රෝගීන් මෙහේ එනවා. ඒ අය ඇවිත් යන්නේ හරිම සතුටින්. මේ වෙද කර්මය ගැන සමීක්ෂණ කළ යුතුයි. ඒ වගේම අපේ බටහිර වෛද්‍ය විද්‍යාවටත් ඉගෙන ගන්න ගොඩාත් දේ මේ දේශීය වෙදකමේ තියෙනවා” බෙල්ජියමේ වෛද්‍ය සිසුවකු වන 22 හැවිරිදි රූබන් පැවසීය.ඇමෙරිකානු ජාතික හෙද සොහොයුරියක වන 22 හැවිරිදි මෙලීසා ද ලංකාවට පැමිණියේ හොරිවිල වෙද ගෙදරින් සාත්තු සේවය ඉගෙන අත්දැකීම් ලබා ගන්නටය.“ මම ලංකාවට එනවිට දැනගෙන හිටියේ නැහැ මෙවැනි වෙදකමක් වගේම හෙදකමත් ලංකාවේ තියෙනවා කියලා. මම ගස් කොළ වර්ගවල ගුණ ගොඩාක් ඉගෙන ගත්තේ ලංකාවේදි. අපේ රටේ ගස්වැල්වලින් මේවගේ ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. ඒත් ලංකාවේ පුංචි ගහකින් ලොකු ලෙඩ පවා හොඳ කරන්න පුළුවන් විස්මිත ප්‍රතිකාර ක්‍රමයක් තියෙන්නේ. ඒ වගේම අපේ බටහිර වෙදකමින් හොඳ කරන්න බැරිවූ රෝග පවා මේ වෙදකමින් හොඳ කරනවා. මම ලංකාවට එන කොට සුව කරන්න බැරි කොන්දේ අමාරුවක් තිබුණා. එහෙදි බෙහෙත් කොතෙකුත් කළා. ඒත් මේ වෙද මහත්තයා මගේ ඒ අමාරුව ඉතා පහසුවෙන් හොඳ කළා. මට හරිම සතුටුයි. මම මගේ රටට යන්නේ මේ පණිවිඩයත් අරගෙනයි.”

හේරත්හාමි වෙදමහතා විසින් එදා හොරිවිල ගමේ ආරම්භ කරන ලද මෙම හොරිවිල වෙදකමේ දස්කම් අද ජාත්‍යන්තරය දක්වා ගොස් ඇත්තේය. කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරව ප්‍රතිකාර කරන අපේ වෙද මහත්වරුන් සතුටු වන්නේ රෝද පුටුවෙන් පැමිණි රෝගියා දෙපයින් යනු දැකීමෙනි. රෝගියාගේ සන්තෝෂයට බුලත් හුරුල්ලක තබා අතමිට මොළොවන සොච්චමෙන් වෙදමහතා සිය එදා වේල පිරිමසා ගන්නේ ය. ඒ අපේකම හඳුනන අපේ වෙදමහත්වරුන්ගේ හැටිය.“ අපිට මේ වෙදමහත්වරු ගැන හරීම පුදුමයි. ඒ අය රෝගීන්ට හරියට සලකනවා. අපි ඒකට හරීම කැමැතියි. රෝගීන් වෙනුවෙන් ලොකු කාලයක් මිඩංගු කරනවා. ඒ වගේම රෝගීන් ගැන හොඳ දැනුමක් තියෙනවා. ඒත් එංගලන්තයේ රෝගියෙකු වෙනුවෙන් වෛද්‍යවරයා වැය කරන්නේ විනාඩි පහක් විතරයි. මට හරීම පුදුමයි මේ අය ගැන . එන රෝගීන්ට හරියට සලකනවා. සමහර විට කෑම බීමෙනුත් සැලකුම් ලබනවා. අපි භාවිත නොකරන බොහෝ දේ මේ අය භාවිතා කරනවා. බේත් ගෙදර සුවඳින් පිරිලා. බේත් කොටන ආකාරය වගේම පත්තු බඳින ආකාරය හරියට ක්‍රමවත්ව කරන්න ඕනෑ. මේ දේවල් වඩා හොඳින් ඉගෙන ගන්න අපි ආයිත් එනවා” එංගලන්තයේ හෙද සේවයේ පුහුණුව ලබන තිස් තුන් හැවිරිදි ලියාන් පැවසුවාය.ලියාන් මෙන්ම එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර පදිංචි එමලිද ලංකාවේ පුහුණුවකට ආවේ හෙද සේවයේ යෙදී සිටින අතර වාරයේ දීය. ඇය විසි හැවිරිදි තරුණියකි.“ මම හෙද පුහුණුව කරන අතරේ ලංකාවට ආවේ මෙහේ දේශීය වෙදකම ගැන ඉගෙන ගන්න. මම ලංකාවට එන්නට පෙර මේ ගැන ගොඩාක් කියෙව්වා. අන්තර්ජාලය පිරික්සුවා. ඒත් සැබෑ දේශීය වෙදකම මොකක්ද කියන එක හොඳින්ම ඉගෙන ගත්තේ හොරිවිල ගමට ආවායින් පසුවයි. මේ වෙද මහත්තයා අපිට බේත් හදන හැටි, බෙහෙත් බඳින හැටි, බේත් අඹරන හැටි ආදි හැම දෙයක්ම කියලා දුන්නා. මේක ගොඩාක්ම හරවත් ක්‍රමයත්. උපකරණ නැතුව ගස් වැල් මුල් පොතු යොදාගෙන බෙහෙත් මේ ක්‍රමය අපිට ආගන්තුකයි. මේ රටේ මේ විස්කම් දේශීය වෙදකම තවදුරටත් ව්‍යාප්ත කළ යුතුයි” එමලි පවසන්නීය.එමලි ලියාන් හා රූබන්ලා හෙට දින සිය රටට යන්නේ තවත් පිරිසකට අපේ දේශීය වෙදකමේ අපූර්වත්වය කියා දෙන්නටය. හොරිවිල වෙද ගෙදර නිහඬව බලා සිටින්නේ තවත් පිරිසකට මෙසේ නොමිලයේ වෙද සතරේ දැනුම් බෙදා දෙන්නට ය.“ මම මේ හැම දේම කියලා දෙන්නේ සත පහක දෙයක් බලාපොරොත්තුවෙන් නෙමේ. වෙදකම් කරන අතරේයි මේ දරුවන්ට මේ දැනුම දෙන්නේ. ලෙඩෙක් බලන්නේ මුදල් බලාගෙන නෙවේ. කවුරු හරි සන්තෝසෙන් බුලත් හුරුල්ලක තියලා දෙන දෙයක් පමණයි සතුටින් බාර ගන්නේ. ඒත් මට වේදනා මම විදේශිය දරුවන්ට මේ ශිල්පය පාවා දෙනවා කියලා සමහර පිරිස් මට චෝදනා කරනවා. නැත්නම් වෙදකම විකුණනවා කියලා. එහෙම දෙයක් වෙන්නේ නැහැ.අපේ දේශීය වෙදකමේ දක්ෂතා හා රහස් නිසා තමයි මේ අය අප හොයාගෙන එන්නේ. ඒ වගේම හොරිවිල ගමේ හොරිවිල වෙදමහත්වරු විදියට විවිධ අය අපේ බෙහෙත් විකුණනවා. දන්නේ නැති කෙනෙක් ඇවිත් හොරිවිල වෙදගෙදර ඇහුවොත් රවට්ටනවා. මේවගේ දේවල් හරීම කනගාටුදායකයි. අද අපේ වෙදකමට විදේශ රටවල විශාල ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා අපි තවත් එකතු වෙලා අපේ වෙදකම ආරක්ෂා කර ගත යුතුයි.” ශාන්ත සෙනෙවිරත්න වෙද මහතා පවසන්නේය.ජාත්‍යන්තර විශ්ව විද්‍යාල මට්ටමට ගිය අපේ වෙදකම නැසී යන්නේ අපේ ඇත්තන්ගේ නොහොබිනාකම් නිසාය. එනිසා අපේ දේ රැක ගැනීමට කාලය දැන් උදාවී ඇත්තේ ය. එළැඹෙන හෙට දිනය හා අනාගත දරු පරපුර වෙනුවෙන් කළ යුත්තේ දේශීය වෙදකම මනාව රැක ගැනීමය.(තොරතුරු හා ඡායාරූප ඩබ්ලිව්. එම්. එච් ගුණවර්ධන (හබරණ සමූහ) (භාෂා පරිවර්තක සහාය හබරණ අ/කුඹුක්වැව ප්‍රාථමික විදුහලේ ඉංග්‍රීසි ආචාරිණී ටී.එම්. ජේ නදීකා තෙන්නකෝන්)