October 2, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

ලාදුරු සුව කරන මිහිපිට දෙවියා

කිසියම් රෝගයක් ඔබට ඇති වුනොත්, එය අනෙක් අයට දැන්වීම සඳහා සීණුවක් රැගෙන යාම නීතිගත වුවහොත් ඔබ කුමක් සිතන්නේද ?යුරෝපයේ 11, 12 ශත වර්ෂ වල ලාදුරු රෝගීන් සඳහා මේ නීතිය බල පැවැත්විණි. ඔවුන්ට කිසිම දෙයක් අතෙන් ඇල්ලීම තහනම් වූ අතර ඈත සිට යමක් ඉල්ලා ගැනීම අනිවාර්ය විය.දෙවන ලෝක මහා සංග්‍රාමය අවදියේ අප්‍රිකාවේ, ‘නිගර්’ යන රටේ වාර්ථාකරුවෙක් සේ සංචාරය කල ප්‍රංශ ජාතිකයෙක් වූ රවුල් [Raoul Follereau] ගේ වාහනය එක් ගමක් අසළ ක්‍රියා විරහිත විය. වාහනයෙන් එළියට පැමිණි ඔහු දුටුවේ, වාහනය වට කරගෙන සිටින නිසල පිරිසකි. ඔවුන් අවතාර මෙන් විය. සමහරෙක්ට අත් නැත. සමහරුන්ට කකුල් නැත. තවත් කෙනෙක්ගේ සිරුරේ ඉදිමී කුණු වූ මස් ගොඩවල් වේ. මුහුණු අසාමාන්‍ය සේ විරුපීය.… “මේ කව්දැයි”…ඇසූ ප්‍රශ්නයට රවුල් ගේ රියදුරාගෙන් ඇසූ විට පිළිතුර වූයේ, …”ඔවුන් ලාදුරු රෝගීන්ය”…යන්නය.… “ඔවුන්ව බලා කියා ගන්න කෙනෙක් නැද්ද ?…යන ප්‍රශ්ණයට අප්‍රිකාණු රියැදුරා ගෙන් ඔහුට ලැබුනේ අමුතු උත්තරයකි. එනම්, … “ඒ මොකටද ? යන්නය. ලාදුරු රෝගය හැදුනේ නම් ඊට ඖෂද එකළ තිබුනේ නැත. රෝගය වැළඳුනා යනු මරණ වරෙන්තුවයි. රෝගියා සෙමෙන් එහෙත් මහත් වේදනා විඳිමින් මිය යා යුතු විය. අප්‍රිකාවේ සමහර තැන් වල කටු කම්බි දමා වට කල ස්ථාන වල ලාදුරු රෝගීන් වේදනාවෙන් කෑ ගසමින් මිය යමින් සිටියහ.ඔවුන් වට කර සිටි එකම සත්ව විශේෂය අනන්ත වූ මැස්සන් පමණක් විය.ඉන්දියාවේ ටජ් මහල් නැරබීමට පැමිණෙන සංචාරකයන් ගෙන් හිඟා කන ලාදුරු රෝගීන් විශාල සංඛ්‍යාවක් ඔහු දුටුවේ, ඉන්දියාවේ වාර්ථාකරුවෙක් සේ සේවය කරන අතරේ දීය.මේ සංචාරයන් ගෙන් පසු නැවත ප්‍රංශයට ගිය ඔහුට දැන ගන්නට ලැබුනේ, නොත්‍රඩාම් පල්ලියේ අනුග්‍රහයෙන් මේ ලාදුරු රෝගීන් සඳහා අප්‍රිකාවේ අයිවරි කෝස්ට් හී කොළනියක් තනන බවය. ඔහු ඒ කාර්යය සඳහා සම්බන්ද වූ පූජකවරියන් හා සාකච්චා කර මේ කාර්යයට අත හිත දෙන්නට තීරණය කළේය. දකුණු ප්‍රංශයේ නගර සභා රඟ හලේ 1943 වසරේ පැවැත්වුණු රැස්වීමකදී ඔහු, ඔහුගේ අත්දැකීම් ප්‍රකාශ කිරීමෙන් පසු එතැනින් ආරම්භ වූ ආධාර ලබා ගැනීම මගින් ඩොලර් 4,00,000 ක් එකතු කර ගැනීමට හැකි විය.ඔහු දක්ෂ කථිකයෙක් වීම ආධාර ලබා ගැනීමට විශාල ප්‍රයෝජනයක් වූ අතර ඔහුගේ කතා එකළ රේඩියෝවේ ප්‍රචාරය වීමෙන් ඔහු මෙන්ම ඔවුන්ගේ කාර්‍යයටද විශාල ප්‍රසිද්ධියක් ලැබුණි. Adzope Leper යන මේ කොළනිය 1951 වසරේ ආරම්භ කිරීමට හැකිවීම ජයග්‍රහණයකි. එහි පිරිසිදු සේ තනන ලද කුඩා නිවාස අවට එළවළු වගා කර තිබිණ. ලාදුරු රෝගය වැළඳුනේ නැති දරුවන් සඳහා ඔවුන් බලා ගැනීමට වෙනම ස්ථානයක් එහි තිබිණි.ඔහු ලාදුරු රෝගය ගැන දිගින් දිගටම ලෝකය දැනුවත් කිරීමේ යෙදුනේ, ‘Mission De La France’ යන පුවත්පතට ලිපි ලීමෙන් තවත් අනුග්‍රාහකයන් බොහෝ දෙනෙක් මේ වටිනා ප්‍රයත්නයට සහභාගී කර ගන්නට හැකි වූයේය. වියට්නාමයට ගිය ඔහු, සයිගොන් නගරයේ සුසාන භූමියක කොටු කර සිටි ලාදුරු රෝගීන් බොහෝ දෙනෙක් දුටුවේය.ඒ ගැන ප්‍රශ්ණ කලවිට, … “මේ රෝගීන් කිනම් මොහොතක හෝ මිය යන්නට හැකි හෙයින්, ඔවුන්ට ජීවත් වීමට සුසාන භුමිය හොඳම තැන වේ”…ලෙසින් පිළිතුරු ලැබිණි.

‘අයිවරි කෝස්ට්’ හී කලාක් මෙන්ම ඔහුට මෙහිදීත් ලාදුරු රෝගීන් සඳහා කොළනියක් තැනීමට හැකිවීම ඔහුගේ ජයග්‍රහණයකි. ලාදුරුරෝගියෙක් යයි හඳුනා ගැනීමෙන් පසුව ඔහු හෝ ඇයව සමාජයෙන් නෙරපා හැරීම මෙන්ම කොන් කර තැබීම යන සිරිත නිසා ලාදුරු රෝගියෙක් වූ වහාම කෙනෙක් ගේ දිරිය පිරිහී යන බව ඔහු වටහා ගත්තේය. ලාදුරු රෝගීන්ට විශ්වාසය ලබා දීම යන වැදගත් කාර්යය ඔහු කතාවෙන් සහ ලිවීමෙන් ඉටු කල බව පෙනී යයි.ප්‍රංශයට අයත් ‘ප්‍රංශ පොලිනීසියාවේ’ තහිටි වලට ඔහු පැමිණි අවස්ථාවේ මුළු දිවයිනේම මිනිසුන් ඔහු දැක බලා ගැනීමට පැමිණි බව කියැවේ. එහෙත් මේ දිවයිනේ කොනක සිටි ලාදුරු රෝගීන් සමූහයක් ඔහු දෙස ඈත සිට බලා සිටියේ, ඔවුන් ඔහු අසළට පැමිණියහොත් එම ලාදුරු රෝගය ඔහුටද වැළඳේ යන බියෙනි. එහි සිටි ලාදුරු රෝගය වැළඳුනු, සිරුර පුරා තුවාල ඇති එක් යුවතියක් මල් මාළාවක් අතැතිව, එහෙත් එය ඔහුට පළඳවන්නට බියෙන් බලා සිටියාය.… “ඔබ බලා සිටින්නේ මන්ද ? සේ අසමින් ඔහු යුවතිය දෙසට ගොස් ඇයව වැළඳ ගත්තේය. ඉන් අනතුරුව යුවතිය විසින් ඒ මල් මාලය ඔහුට පළඳවන ලදී. මිනිසුන් ප්‍රීති ගෝෂා කළහ. ඔහු කිසිවිටෙක ලාදුරු රෝගීන් අසළට යන්නට බිය වුනේ නැත.මේ චාරිකාවෙන් පසු ඔහුව ප්‍රංශයේ ජාතික වීරයෙක් සේ සළකන ලදී.ලාදුරු රෝගය අදින් වසර දෙදහස් පන්සියයකට පෙර ඉන්දියාවේ පැවතුනු බවට බුද්ධ සාහිත්‍යයේ කතාවක දැක්වේ. කාශ්‍යප මහ රහතන් වහන්සේ බුදුන් වහන්සේගෙන් අල්පේච්ච භාවයෙන් අග්‍ර ස්ථානය ලැබූ බව සඳහන්ය. උන් වහන්සේ පිඬු සිඟා වදින විට ලාදුරු ජනපදයකට පැමිණි බවත්, එක්තරා ලාදුරු රෝගියෙක් උන් වහන්සේට දානය බියෙන් බියෙන් පිළිගන්වන්නට සමීප වන විට, ඒ දානය උන් වහන්සේ පිළිගත් බව බුද්ධ සාහිත්‍යයේ දැක්වේ. දානය බෙදන විටදී, එම ලාදුරු රෝගියාගේ කුණු වූ ඇඟිල්ලක් පාත්‍රයට වැටුණි.කාශ්‍යප මහ රහතන් වහන්සේ එය ඉවතින් තබා, රෝගියා ඉදිරියේම දානය වැළඳු බව කියැවේ.කන්ද උඩ දේශනාවෙන් පසු ජේසුස් වහන්සේ වෙත පැමිණි එක් යුදෙව් ලාදුරු රෝගියෙක්, උන් වහන්සේගෙන් ‘තමාව පිරිසිදු කල හැකිද?… සේ ඇසුවේය. “එය කල හැකිය”, සේ ප්‍රකාශ කල ජේසු තුමා ඔහුව ප්‍රාතිහාර්යයෙන් සුව කළේය. සුව කර යුදෙව් පූජකයන් වෙත ගොස් ත්‍යාග ලබා ගන්න යයි කීවේය. ලාදුරු රෝගය වැළඳුනු රෝගියෙක් ‘අපිරිසිදුය’ සේ යුදෙව් ආගමේ ලියා තිබේ.

කාශ්‍යප තෙරුන් සහ ජේසු තුමන්ට අමතරව, සමහරවිට ලෝක ඉතිහාසයේ මේ තරම් ලාදුරු රෝගීන්ට අනුකම්පා කල දෙවන පුද්ගලයා ‘රවුල්’ වන්නට ඇත. … එහෙත්, “ගිලනුන්ට කරන ලද උපස්ථානය මා සඳහා කල උපස්ථානයක් වන්නේය” සේ බුදුන් වහන්සේ ගේ අවවාදය, ප්‍රංශ ජාතික රවුල් දැන සිටින්නට ඉඩක් නැත.‘සල්ෆෝන්’ යන ඖෂධය සොයා ගැනීම ලාදුරු රෝගය නැවැත්වීමේ ප්‍රධාන හේතුවක් විය. නැති වූ ගිය අත පය නැවත ලබා ගැනීමට නොහැකි වුවද, රෝගියෙක්ගේ ලාදුරු රෝගය එතනින් එහාට පැතිරීම වැළැක්වීමට මේ ඖෂධය ප්‍රයෝජනවත් විය. ලෝකයේ ලාදුරු රෝගීන් සිටියේ කොතැනකද, ඒ ස්ථාන වලට මේ ඖෂධය නැව් ගත කරන ලදී. ලාදුරු රෝගය වැළඳුනු මුල් අවස්ථාවේ එය භාවිතා කිරීමෙන් සම්පූර්ණ සුවය ලබා ගැන්මට හැකි විය.1959 වසරේ ලාදුරු රෝගීන් වෙනුවෙන් ලැබුණු ආධාර ප්‍රමාණය ඩොලර් මිලියන 8.1 ක් විය. මෙය එකල විශාල මුදළකි. 1955 වසරේ ලාදුරු රෝගීන්ගේ දිනය ප්‍රකාශ කරන ලදී. ඒ දිනය ලෝකය පුරා පැතිරුණු ගුවන් විදුළි මධ්‍යස්ථාන 160 කින් ලොව පුරා ප්‍රචාරය විය. ඒ අනුව ලාදුරු රෝගය ලොවෙන් තුරන් කිරීමේ සාමූහික ප්‍රයත්නය සෑහෙන තරමකට ඇති වූයේ මේ ප්‍රචාරය නිසාය. මෙහිදී සැළකියයුතු එක් කාරණයක් නම්, අද දිනද මේ අවාසනාවන්ත රෝගය ලොවෙන් තුරන් වී නැති බවය.අද දිනද ලෝකයේ ලාදුරු රෝගීන් මිලියන තුනක් සහ පහක් අතර ප්‍රමාණයක් සිටී. එසේ හෙයින් මේ ගැන දැනුවත්වීමේ වටිනාකමක් ඇත. විශේෂයෙන් ඉන්දියාවේ, ඉන්දුනීසියාවේ, අප්‍රිකා රටවල සංචාරය කරන්නවුන් ප්‍රවේශම් විය යුතුය. ලිපිය දික් නොවීම සඳහා ඒ විස්තර නොලියමි. ඔබට ඇති තරම් විස්තර අන්තර් ජාළයෙන් ලබා ගත හැක.ලාදුරු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ සේවයට රවුල් අවුරුදු 34 ක් පුරා වෙහෙසුනේය. අප්‍රිකාවේ ප්‍රංශයට අයත් යටත් විජිතයන් වල පමණක් ලාදුරු රෝගීන් මිලියන 2.3 ක් සුව කල බව 1973 වාර්ථා කියා පායි.1977 දෙසැම්බර් 6 වෙනිදා ලාදුරු රෝගීන්ගේ ගැළවුම්කරු වූ ‘රවුල් ෆොලේරු’ මිය ගියේ ශ්‍රේෂ්ට මිනිසෙක් සේ ඉතිහාස ගත වෙමිනි.