September 26, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

ස්ථූලතාවය පාලනය කරන තන්තුමය ආහාර

නවීන තරඟකාරී ජීවන රටාවේ තිබෙන කාර්යබහුලත්වය සමඟ “අාහාරය” යන්නෙහි නියමාකාර අර්ථය ගිලිහෙමින් පවතින කාල වකවානුවක අප සැවොම ජීවත් වෙමු. එක් එක් කාලයන් හිදී සමාජයේ මුල් බැස ගන්නා වූ ජීවන රටා වල බලපෑම මිනිසා පරිභෝජනය කරන ආහාර සඳහාද ඍජුවම බලපෑම් ඇති කරනු ලබයි. වර්තමානයේ පවතින ක්ෂණික ආහාර සංස්කෘතිය, සමබල ආහාර වේලක වටිනාකම විනාශ කිරීමට ප්‍රධානතම හේතුවක් වී ඇත. මෙම ක්ෂණික ආහාර ඔබ භාවිත කරන මිලෙන් අඩුම ටොෆි, සොෆ්ට් ඩ්‍රින්ක්ස්, බිස්කට්, ෂෝට් ඊට්ස් වල සිට මිලෙන් අධික පීසා, පැස්ටා, කේක් වර්ග දක්වා දිව යයි. මේවා අධික තෙල් සහ සීනි සහිත, අනෙකුත් පෝෂක වලින් හීන ආහාර වේ. බාෙහාමයක් ක්ෂණික ආහාර නිෂ්පාදනය කරනු ලබන ප්‍රධාන හා ප්‍රසිද්ධ ආහාර නිෂ්පාදන සමාගම් මඟින් එම ආහාර පරිභෝජනය, උසස් සමාජ පංතිය නියෝජනය කරන එක් මිම්මක් ලෙසට සමාජයේ බාෙහෝ දෙනාගේ හිතට කාවද්දා ඇත. නමුත් එයින් ඔබේ නිරෝගී ශරීරයට දිනක අත්වන ඉරණම පිළිබඳ කෙදිනක හෝ සිතා බැලුවාද?සමබල ආහාර වේලක කාබෝහයිඩ්‍රේට, ලිපිඩ, ප්‍රෝටීන, විටමින් හා ඛනිජ ලවණ හැරුණු විට තිබිය යුතු ප්‍රධානතම අංගයන් දෙකක් වන්නේ ප්‍රමාණවත් පරිදි ජලය හා තන්තුයි. ⁣මෙම සටහන එම අංගයන් දෙකෙන් එකක් වන තන්තු වල වැදගත්කම පිළිබඳවයි.ආහාර තන්තු නැතිනම් Food fibers යනු ශාකමය ආහාර වන ධාන්‍ය, පළතුරු, එළවළු වල අඩංගු වන ජීරණයට නොහැකි තරමක් දෘඩ කොටස් ය. මේවා ප්‍රධාන වශ⁣යෙන් කොටස් දෙකකි.01. Insoluble fiber(අද්‍රාව්‍ය තන්තු) – ජලයේ දිය නොවන අතර මළබද්ධය වැළකීමට දායක වේ. මේවා මළ වල පරිමාව (bulk volume) වැඩි කර මළ පහ කිරීම පහසු කරවයි. සම්පූර්ණ ධාන්‍ය (whole grain), එළවළු හා පලා වර්ග මෙම වර්ගයේ තන්තු වලින් පොහොසත් වේ.02. Soluble Fiber(ද්‍රාව්‍ය තන්තු) – ජලයේ දිය වන අතර රුධිර සීනි මට්ටම පාලනය කිරීමට හා කාෙලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමට දායක වේ. බාර්ලි, ඕට්ස්, පළතුරු, ඇට වර්ග සහ රනිල භෝග වල බෙහෙවින් අඩංගු වේ.බාෙහාමයක් ශාකමය ආහාර වල මෙම ද්‍රාව්‍ය සහ අද්‍රාව්‍ය තන්තු වර්ග දෙකම අඩංගු වේ. එසේම අවම වශයෙන් සකසන ලද (Minimally processed) හා ස්වභාවික ආහාර වල තන්තු වැඩි ප්‍රමාණයක් අඩංගු වේ.

තන්තු ආහාර වර්තමාන සමාජයේ පවතින බොහොමයක් බෝ නොවන රෝග සඳහා පිළිතුරු සපයයි. තන්තුමය ආහාර, ජීරණ පද්ධතියේ චලන සාමාන්‍ය තත්ත්වයට පත් කර ආහාර ජීර්ණය පහසු කරන අතර ජීර්ණය අවසානයේ ඇති වන මළ ද්‍රව්‍ය වල පරිමාව වැඩි කර මළ පහ කිරීම පහසු කරවයි. මේ නිසා මළ බද්ධය වැනි රෝග අවම කිරීමට දායක වේ. ආහාර තන්තු ආහාර මාර්ග පද්ධතිය පිරිසිදු කර පිළිකා කාරක ද්‍රව්‍ය ඉවත් කර ජීරණ පද්ධතිය ආශ්‍රිත පිළිකා තත්ත්වයන් ඇතිවීම අවම කරවයි. එසේම diverticulosis නොහොත් ආන්ත්‍ර වල සිදුවන ප්‍රදාහ තත්ත්වයන් අඩුකිරීමට, අර්ශස්, පිත්ත ගල්, වෘක්ක ගල් සෑදීම අවම කිරීමට ද උපකාරී වේ.සීනි සහ කොලෙස්ටරෝල් රුධිරයට අවශෝෂණය කරන සීඝ්‍රතාවය අවම කර රුධිර සීනි මට්ටම හා කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමෙන් දෙවන ආකාරයේ දියවැඩියාව (type 2 diabetes) හා කොලෙස්ටරෝල් පාලනය කිරීමට තන්තු දායක වේ.මෙම තන්තු අඩු ඝනත්ව කොලෙස්ටරෝල් ( LDL cholesterol) මට්ටම අවම කරන අතර පරිවෘත්තීය සහලක්ෂණ (metabolic syndromes) වන කිරීටක හෘදයාබාධ (Coronary heart attacks), දියවැඩියාව (diabetes) සහ ආඝාතය (stroke) අවම කිරීම ද සිදු කරනු ලබයි.තන්තුමය ආහාර සිරු⁣රේ බර පාලනය කර තරබාරු බවෙන් මිදීමට ද විශාල කාර්යභාරයක් ඉටුකරනු ලබයි. ආහාර වේල තුළ වැඩි තන්තු ප්‍රමාණයක් අඩංගු වන විට සුළු ආහාර ප්‍රමාණයක් ගත් විටදීත්, ආහාරයේ පරිමාව වැඩි කිරීමට තන්තු වලට ඇති හැකියාව නිසා ඉක්මනින් කුස පිරුණු ස්වභාවයක් දැනෙන අතර වුවමනාවට වඩා ආහාර ලබා ගැනීම ඉන් වැළකේ. එසේම තන්තු සපිරි ආහාර වල පවතින්නේ අඩු කැලරි ප්‍රමාණයකි.තන්තුමය ආහාර,01. රුධිර සීනි මට්ටම පාලනය කිරීමෙන් සිරුරේ මේද දහන ධාරිතාව නඩත්තු කිරීම මඟින් ද02. ආහාර මාර්ගය තුළ මේදය ගමන් කිරීමේ වේගය වැඩිකර අවශෝෂණය අවම කිරීම මඟින් ද03. ව්‍යායාම කිරීමට වැඩි ශක්තියක් ලබාදීම මඟින් ද ස්ථූලතාවය පාලනයට දායක වේ.එමෙන්ම, තන්තුමය ආහාර prebiotics ලෙස ක්‍රියා කරඅන්ත්‍රයේ අපර කොටස් වල හිතකර probiotics බැක්ටීරියා වර්ධනයට දායක වේ.ශ්‍රී ලංකාවට උරුමව තිබූ පැරණි ආහාර රටාවේ, තන්තු සහිත ආහාර සඳහා වැදගත් ස්ථානයක් ලැබී තිබුණත් වර්තමානය වන විට එය ක්ෂීණ වී ගොස් තිබේ. දරුවන් ප්‍රිය කරන අයුරින් තන්තුමය ආහාර සකසා දීමෙන් මේ ගිලිහෙමින් යන නිරෝගී දිවිය නැවත ළං කර ගැනීමට මඟ පාදා ගත හැකි වේ.දිනූෂි උදේශිකා ..