October 3, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

ආනයනය කරන මිරිස්වල වස-විස අඩංගුයි

සෞඛ්‍ය සම්පන්න, සමබල, පෝෂ්‍යදායි හා ගුණදායක ආහාර වේලක් යනු සියලුම ජීවීන්ට තම පැවැත්ම සදහා වූ අතිශය වැදගත් තීරණාත්මක සාධකයකි. ආහාරයක් යනු මිනිසා හෝ සතුන් මගින් තම පැවැත්ම උදෙසා ආහාරයට ගනු ලබන ඕනෑම ආකාරයේ පෝෂක ද්‍රව්‍යකි. නමුත් ආහාරවල ගුණාත්මකභාවය අද වන විට ලෝකයටම පොදු ගැටලුවක් ව පවතී.මෙරට පරිභෝජනය සඳහා දේශීය මිරිස් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවන හෙයින් වියළි මිරිස් සහ සකස් කරන ලද මිරිස් තොග වශයෙන් ඉන්දියාවෙන් ආනයනය කරනු ලබයි. නමුත් මෙම ආනයනික බෝගයේ පෙනුම මෙන්ම කල් පැවැත්ම යහමින් පවත්වා ගැනීම සදහා අපනයන කරුවන් විසින් අධික ලෙස කෘෂි රසායන එකතු කරන බව ඔබ දන්නවා ද? මෙමගින් සිදුවන්නේ දේශීය වශයෙන් කෘෂි රසායන භාවිතය අවම කරත් නොදැනුවත්වම අපගේ ආහාර වේලට කෘමිනාශක එකතු කර ගැනීමයි.මැතකදී සෑමදෙනාගේම අවධානයට ලක්වූ ප්‍රවෘත්තියක් වන්නේ ඉන්දියාවෙන් ආනයනය කරනු ලැබූ මිරිස් මෙට්‍රික් ටොන් 200ක පිළිකා කාරකයක්වන ඇෆ්ලටොක්සින් අනුමත ප්‍රමාණයට වඩා වැඩිපුර අඩංගුවීම හේතුවෙන් එයට එරෙහිව ආනයන කරුවන්ට නඩු පැවරීමයි.ඇෆ්ලටොක්සින් යනු දීලීර මගින් නිපදවනු ලබන විෂ සහිත සංයෝගයකි. ප්‍රධාන වශයෙන් Aspergillus flavus සහ Aspergillus parahaemolyticus නම් ක්ෂුද්‍රජීවීන් දෙවර්ගය මගින් මෙම විෂ සංයෝගය නිපදවනු ලබයි. දැනට විවිධ ඇෆ්ලටොක්සින් වර්ග 14 කට අධික සංඛ්‍යාවක් සොයාගෙන ඇතත්, එයින් ප්‍රධාන වශයෙන් මිනිසුන්ට මෙන්ම සතුන්ටද විෂ සහිත ඇෆ්ලටොක්සින් B1, B2, G1 සහ G2 ප්‍රධාන වශයෙන් ආහාර වල අඩංගු වේ. ඇෆ්ලටොක්සින් 10µg/1 kgට වැඩියෙන් ආහාරයක අඩංගුවන්නේ නම් ඒවා සෞඛ්‍යය අහිතකර පිළිකා කාරක ලෙස පිළිගනියි. මේවා මිරිස් වලට අමතරව බඩ ඉරිගු, මෙනේරි, රටකජු, සහල්, තල ඇට, තිරිඟු වැනි ආහාරවල ඇතිවිය හැක. විශේෂයෙන්ම ආහාර නිවැරදිව අසුරා නොමැති අවස්ථාවන්වලදි මෙන්ම නිවැරැදිව ආහාර වියලා නොමැති අවස්ථා වලදී මෙම ඇෆ්ලටොක්සින් සෑදිය හැක.

මෙම ඇෆ්ලටොක්සිනය විශාල ප්‍රමාණ වලින් ශරීරගත වීම hemorrhagic syndrome නම් රොගය වැලදීමට ඉඩ ඇති අතර, දීර්ඝකාලීන කුඩා ප්‍රමාණ වලින් ශරීරගත වීමෙන් අක්මාව ඉදීමීමද සිදුවිය හැක.2012 වසරේදී ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරනු ලබන වියලි මිරිස් වල මිනිස් ශරීරයට අහිතකර විෂ රසායනික අඩංගු වන බව ඔස්ට්‍රේලියානු රජය විසින් අපනයන සංවර්ධන මණ්ඩලයට දැනුම් දී තිබේ. මෙම දැනුම් දීමට හේතුව වී ඇත්තේ ශ්‍රීලංකාවේ චිලි පේස්ට් නිෂ්පාදකයන් විසින් ඔස්ට්‍රේලියාවට ආනයනය කරනු ලැබූ චිලි පේස්ට් හී සාම්පල් පරීක්ෂාවෙන් අනතුරුවයි. එම සාම්පල වල විෂ සහිත රසායනික ද්‍රව්‍ය අවශේෂ වැඩි ප්‍රමාණයක් අඩංගු වී ඇත.මිරිස් නිෂ්පාදනය සදහා මෙරට තහනම් කල කෘමිනාශක, වල් නාශක ඉන්දියාව තවමත් භාවිතා කරයි. පිළිකාකාරක කෘෂි රසායන වලට උදාහරණ ලෙස/ග්ලයිෆොසෙට්/ෆර්නිල්/කාබොෆියුරාන්/ක්ලෝරෝපයිරිෆෝස් ඔගෙෆා පොස්පේට් කාබමේට සහ/මොනක්‍රොටපොස්‌/දැක්විය හැකිය.මෙම වියළි මිරිස් වෙලඳපොලට නිකුත් කිරීමට මත්තෙන් විධිමත් ලෙස තත්ව පරීක්ෂාවකට ලක් කර පාරිභෝගිකයා වෙත ලබා දීම කල යුතු වේ. නමුත් සෝචනීය තත්වය වන්නේ තවමත් මෙම අනතුරුදායක තත්ව මඟ හරවා ගැනීමට වග කිව යුතු අංශ කිසිදු පියවරක් තවමත් නොගැනීමයි. තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගත යුතුයි යන කියමන අනුගමනය කරමින් අපට කල හැකි වන්නේ නිවසේ එදිනෙදා පරිභෝජනයට ගන්නා බෝග ස්වල්පය ගෙවත්තේම වගා කර ගැනිමයි. එසේත් නොමැති නම් අප රටේ ගොවියන්ට ආදායමක් ලැබෙන ආකරයට මිරිස් වගාව රටතුල ප්‍රචාරය මගින්ද මෙම ගැටලුව බොහෝ දුරට නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබේ.