October 15, 2021

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

චීනය විසින් ඉදිකළ ලොව දිගම මුහුදු පාලම​

චීන ජනාධිපති ෂී ජින්පිං අතින් 2018 ඔක්තෝබර් 23 වන දා විවෘත වූ හොං කොං – චුහායි – මකාඕ පාලම කි. මී. 55ක දිගින් යුක්ත වෙනවා. මේ අනුව එය ලෝකයේ දිග ම මුහුදු පාලම ලෙස යි සැලකෙන්නේ. මෙමඟින් හොං කොං සහ මකාඕ යන විශේෂ පාලන ප්‍රදේශ චීන ප්‍රධාන භූමිය වෙත සම්බන්ධ කෙරෙන අතර, විශේෂයෙන් ම හොං කොං සිට පර්ල් නදී ඩෙල්ටාව හරහා ගමන් කිරීමට ගතවන කාලය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වෙනවා.මෙම පාලම වසර 9ක කාලයක් තිස්සේ ඉදි කෙරුණා. පාලම ඉදිකිරීම 2016 දී අවසන් විය යුතු වූ නමුත් එය ප්‍රමාද වුණා. සම්පූර්ණ වියදම ඩොලර් බිලියන 20ක් වූ බව යි සඳහන් වන්නේ. එහි ඉදිකිරීම් කටයුතුවල නිරතවූවන්ගේ ආරක්ෂාව පිළිබඳ ද ප්‍රශ්න මතු වූ අතර, ව්‍යාපෘතිය අතරතුර දී කම්කරුවන් 18 දෙනෙකු මියගොස් ඇතැ යි වාර්තා වෙනවා.මේ අතර පරිසර සංවිධාන ද මෙම ව්‍යාපෘතිය පිළිබඳ සිය විරෝධතාව දක්වා සිටිනවා. ප්‍රදේශයේ සමුද්‍ර ජීවීන්ට එයින් අනිටු ප්‍රතිඵල අත්වන බව පෙන්වා දෙන ඔවුන් කියා සිටින්නේ විශේෂයෙන් ම චීන සුදු ඩොල්ෆින් සතුන්ට එල්ල වන බලපෑම අයහපත් බව යි. ලෝක වනජීවී අරමුදලෙහි හොං කොං ශාඛාව පෙන්වා දෙනුයේ පසුගිය වසර දහය තුළ හොං කොං අවට මෙම සතුන් ගහනය 148 සිට 47 තෙක් අඩු වූ බව යි.මෙම පාලම ඉදිකර තිබෙන්නේ භූ කම්පන සහ කුණාටු තත්ත්වයන්ට ඔරොත්තු දීමට හැකිවන පරිදි යි. එය​ ඉදිකිරීමට​ වානේ ටොන් 400,000ක් යොදාගනු ලැබුණ බව සඳහන් වෙනවා.

හොං කොං සිට පර්ල් නදී ඩෙල්ටාවේ අනෙක් පසෙහි පිහිටි චුහායි වෙතත්, එතැනින් මකාඕ වෙතත් දිවෙන පාලමෙහි එක් පසෙක මං තීරු තුනක් වෙනවා. පාලමේ කි. මී. 30ක් පමණ මෙසේ පර්ල් නදී ඩෙල්ටාව හරහා වැටී තිබෙනවා. ගංගාව දෙසට නැව් ගමනාගමනය කරන බැවින් පාලමේ කි. මී. 6.7ක් වන දුරක් මුහුද යට උමඟක් ලෙස නිර්මාණය කර තිබෙනවා. මෙම උමඟ ඇරඹෙන ස්ථාන දෙකෙහි කෘත්‍රිම දූපත් දෙකක් නිර්මාණය කර තිබෙනු දක්නට පිළිවන්.පාලමේ ආරක්ෂාව සඳහා විශේෂ පියවර ගැනීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. මේ අනුව ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් ආරක්ෂාව සැලසීම සඳහා පාලම නිරීක්ෂණය කිරීමට ඉහළ තත්ත්වයේ කැමරා 48ක් සවි කර ඇතැ යි වාර්තා වෙනවා.මීට අමතර ව රියැදුරන්ගේ තත්ත්වය පරීක්ෂාවට ද විශේෂ කැමරා සවි කර ඇතැ යි වාර්තා වුණා. චීන මාධ්‍ය උපුටා දක්වන බීබීසී ය කියා සිටියේ රියැදුරෙකු තෙවරක් ඈනුම් හරිනු නිරීක්ෂණය කළහොත්, ඒ බව බලධාරීන්ට දැන්වීම සඳහා ක්‍රමවේදයක් සකසා ඇති බව යි. නින්ද යාමෙන් වන අනතුරු වැළැක්වීම මෙහි අරමුණ බව ප්‍රකාශ වනවා.මෙම පාලම සෑම වාහනයක් සඳහා ම විවෘත වන්නේ නැහැ. ඒ සඳහා විශේෂ අවසරපතක් මිලට ගත යුතු යි. ඊට අමතර ව පාලම හරහා ගමන් කරන පෞද්ගලික බස් සේවයක් ද ක්‍රියාත්මක වෙනවා.හොං කොං සහ මකාඕ හි වාහන ගමන් කරන්නේ මාර්ගයේ වමෙනි. නමුත් චීනයේ වාහන දකුණු පසින් ගමන් කරනු ලබනවා. මෙම පාලම චීන සීමාව තුළ පිහිටි බැවින් වාහන දකුණු පසින් ගමන් කළ යුතු වෙනවා. මේ සඳහා මං තීරු වෙනස් වීම සිදුකිරීමට හොං කොං සහ මකාඕ අසල ස්ථාන දෙකක් සකසා තිබෙනවා.