October 15, 2021

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

ඉඳුල් බත් පූජා කර ලැබූ අනුහස්

දන් දීමෙහි වැදගත්කම පිළිබඳව බුදුන් වහන්සේ බොහෝ අවස්ථාවල පැහැදිලි කර දුන්හ. දන් දීමෙන් ලෝභය මැඩ පවත්වා ගත හැකිය. සිත පහන් වේ. ආත්මාර්ථකාම මර්දනය වේ. මෛත්‍රිය වැඩේ. දන්දීම යනු මතු භවභෝග සම්පත් ලබා ගැනීමේ අරමුණින් මුදල් පොලියට දෙන්නාක් මෙන් කළ යුත්තක් නොව තම පෞරුෂය හා ආකල්ප වර්ධනය සඳහා ම කළ යුත්තක් බව උන්වහන්සේගේ ඉගැන්වීම විය. කවරෙකුට වුවද තමනට හැකි පමණින් දන් දී කුසල් අත් කර ගත හැකිය.බුදුන් වහන්සේ වස් සමය ශ්‍රාවස්ථියෙහි වැඩ සිට වස් පවාරණය කොට ජනපද චාරිකාවේ යෙදෙමින් එක් බමුණු ගමකට වැඩි සේක.බුදුන් තම ගමට වඩින බව ඇසූ එගම බමුණෝ බෙහෙවින් බියට පත්වූහ. ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි තම ජනතාව පැහැදුනහොත් තමන්ට ලැබෙන ලාභ සත්කාර අහිමිවිය හැකි බව සිතූ බමුණු නායකයා බුදුන්ට තම ගමෙහි නොරැඳී යාමට සැලැස්වීමේ අරමුණින් කවර ගැමියෙකු හෝ බුදුන්ට දන් දුනහොත් ඔහුට කහවණු පන්සියයක් දඩ පනවන බවට නියෝගයක් නිකුත් කළේය.බුදුන් වහන්සේ බමුණු ගමට පිවිස ගෙයින් ගෙට පිඬු සිඟා වැඩි නමුදු දඩයට බිය වූ වැසියෝ තම ගෙවල දොරගුළු ලා ගෙතුළ සැඟවී හුන්හ.එක නිවසක නිවැසියන් කා ඉතිරි කළ ඉඳුල් බත් ඉවත වීසි කිරීම සඳහා මුළුතැන් ගෙයින් එළියට පැමිණි දාසියකට අහම්බෙන් පිඬු සිඟා යන බුදුන් වහන්සේ මුලිච්චි විය. තමන් ඉදිරියෙහි හිස් පාත්‍රය අතැතිව වැඩ හුන් බුදුන් වහන්සේ දුටු දැස්සට මෙසේ සිතිණ.“මුන් වහන්සේ නම් මහා පින්වන්තයෙකි. ප්‍රසන්න පෙනුමැත්තේය. මෙහි වැඩියේ මා කෙරෙහිම අනුකම්පාවෙන් විය යුතුය. උන්වහන්සේට පුද කිරීමට යමක් නොමැති මම ඉඳුල් බතින් එතුමා පුදමි.” මෙසේ සිතා බුදු හිමියන් වෙත ගිය මහලු දැස්ස “ස්වාමීනි, මට ඔබ වහන්සේට දානයක් දීමට ශක්තියක් නොමැත. එහෙත් ඔබ වහන්සේ කැමති නම් මට අනුකම්පා කොට මෙම ඉඳුල් බත් ආහාරය පිළිගනු මැනවි” කීවාය.

බුදුන් වහන්සේ මඳහසක් හෙළා එම ඉඳුල් අහර පිළිගත්හ. බුදුන් මඳහසක් හෙළන්නේ ඉතා කලාතුරකින් මෙන්ම හේතුවක් ඇතිව නිසා බව දත් ආනන්ද හිමියෝ ඊට හේතුව බුදුන්ගෙන් විමසූහ.“ආනන්දය. අර මහලු ගැහැනිය කළ මේ දානමය පිනෙන් ඇය කල්ප දහසක් දෙව් මිනිස් සැප විඳ අවසානයේ පසේ බුදු බවට පත්වන බව දැන මම සිනාසුණෙමි.” බුදුන් වහන්සේ වදාළහ.බුදුන්ගේ මේ වදන් ඇසූ සැඟවී සිටි බමුණෙක් බුදුන් වහන්සේට විහිළු කරන්නට විය. “ගෞතමයෝ කුසගින්න දරා ගත නොහැකි නිසාම මෙසේ බොරු කියති. ඔබ සූර්ය වංශයෙහි උපන් රජ කුමරෙකුව හිඳත් ඉඳුල් බත් තුලක් දන් දීමෙන් මෙතරම් ආනිශංසයක් ලැබේ යයි බොරු කියයි.” බමුණා පැවසීය.“බමුණ. ලෝකයේ අරුම පුදුම දෑ ඉඳහිට සිදුවේ. ඔබ ඒ බව පිළිගන්නෙහි ද?” බුදුහු විමසූහ.“ගෝතමයෙනි, ඔබ ඒ පවසන්නේ නම් ඇත්තකි. මම යාබද රාජ්‍යයේ එක් නුගරුකක් ගැන දනිමි. ගොනුන් බැඳි ගැල් පන් සියයක් නැවැත්වීමට තරම් ඒ රුකෙහි සෙවණ විශාලය. එබඳු විශාල නුගරුක් ඇත්තේ කලාතුරකිනි.”“බමුණ ඒ නුගරුක පැළවූයේ කුමකින් ද?”“නුග ඇටයකිනි.”“නුග ඇටයක ප්‍රමාණය කොතරම් ද?”“ගෝතමය. අබ ඇටයකිනුත් තුනෙන් පංගුවක් පමණි.”“එසේ නම් ඒ දැස්ස බුදුවරයෙකුට දන් දීමෙන් කළ පුණ්‍ය කර්මයද එබඳුය.” බුදුන් වහන්සේ වදාළහ. කරුණු වටහා ගත් බමුණා බුදුන් සරණ ගියේය.ඒ අවස්ථාවේදී දීමට දෙයක් නොතිබුණු නිසාම ඉඳුල් බත හෝ බුදුරජාණන්වහන්සේ ගේ අවසරය ඇතිව ම පූජා කරන ලදී. දීමට හැකියාව සහ දේවල් තිබියදී සමා කරගැනීමකින් තොරව අපවිත්‍ර දෑ දීමෙන් පව් සිදුවිය හැකි බව මතක තබා ගන්න.

source -TheMindfulness/Creator~G. L.R.N.G