October 16, 2021

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

එළවළු තෙල් භාවිතා කරන්න එපා

ආහාරයට තෙල් දැමු ආහාරයක්, බැදුමක් එක් නොකරගන්න නම් අද වන විට බොහොදෙනෙක් ට අපහසු බව පෙනෙන්නට තිබෙනවා පමණක් නොව වෙළඳපොල තුළද තෙල් දැමූ ආහාර තම ආධිපත්‍යය පතුරුවා ඇති සෙයකි. ආහාර පිළියෙල කරන්න, වඩා සුදුසු පොල්තෙල් ද නැත්නම් එළවළු තෙල් ද යැයි ප්‍රශ්ණාර්ථයක් පවතින මොහොතක මෙතැන් සිට ඒ පිළිබද ව සලකා බලමු.කාමර උෂ්ණත්වයේ දී තෙල් යනු ඳ්‍රවයක් වන අතර මේදය ඝනයකි.මේවාට පොදුවේ ලිපිඩ යන වදන භාවිතයේ යෙදෙයි.ලිපිඩ, මේද අම්ල සහ ග්ලිසරෝල් අණු වලින් සෑදී ඇති අතර මේවා ආහාර පිසීමේ දී මෙන්ම දේහය තුළ දී සිදුකරගන්නා රසායනික විපර්යාස ඒවායේ දේහයට හිතකර හෝ අහිතකර බව තීරණය කිරීමට බලපායි.ව්‍යුහාත්මකව මේද අම්ල සංතෘප්ත(saturated) හා අසංතෘප්ත(unsaturated) ලෙස ප්‍රධාන ලෙස බෙදිය හැක.සරලවම සැලකුවහොත් සංතෘප්ත නම් ඒක බන්ධන පමණක් ද අසංතෘප්ත නම් ද්විත්ව බන්ධන ද කාබන් දාම අතර පවතී. ද්විත්ව බන්ධන පවතින සංඛ්‍යාව අනුව අසංතෘප්ත මේද අම්ල තවදුරටත් ඒක අසංතෘප්ත(mono unsaturated) හා බහු අසංතෘප්ත(poly unsaturated) ලෙසත් මේද අම්ල දාමයේ දිග අනුව කෙටි (short chain), මධ්‍යස්ථ(medium chain) සහ දිගු දාම(long chain) ලෙස අසංතෘප්ත හා සංතෘප්ත මේද අම්ල බෙදා දක්වයි.දේහයට බලපාන ආකාරය සලකා බැලූ කල්හි අහිතකර මේද ලෙස දිගු දාම සංතෘප්ත මේද අම්ල(Long chain saturated fatty acids),ට්‍රාන්ස් මේදය(Trans fat),අඩු ඝණත්ව ලිපප්‍රෝටීන කොලෙස්ටරෝල්(LDL),ඉතා අඩු ඝණත්ව ලිපප්‍රෝටීන කොලෙස්ටරෝල්(VLDL) හඳුනා ගැනෙයි.මස් වර්ග, ගැඹුරු තෙල් වල වැඩි වෙලාවක් පිසින ආහාර වල මේවා අඩංගුයි.මෙනිසා මෙවැනි ආහාර පරිභෝජනයේ දී ඒ ගැන ද සැළකිලිමත් විය යුතුය.හිතකර මේද ආකාර ලෙසකෙටි දාම සංතෘප්ත මේද අම්ල(Short chain saturated fatty acids),මධ්‍යම දාම සංතෘප්ත මේද අම්ල(Medium chain saturated fatty acids), අධි ඝණත්ව ලිපප්‍රෝටීන කොලෙස්ටරෝල්(HDL),ඒක අසංතෘප්ත මේද අම්ල(Mono unsaturated fatty acids),බහු අසංතෘප්ත මේද අම්ල(Poly unsaturated fatty acids) වැදගත් ය.පොල්තෙල් ,අලිගැටපේර,රටකජු සහ ධාන්‍ය, මාළු වල මේවා අඩංගුයි. දෛනික ශක්ති අව‍ශ්‍යතාවයෙන් 15%-30% ක් පමණ මේදය මඟින් සැපයේ.එය අසංතෘප්ත මේද ආහාර හරහා ලබාගැනීම සුදුසු ය.පොල් තෙල් සම්බන්ධයෙන් සලකා බැලූ විට ග්‍රාමීයව ශ්‍රී ලංකාවේ දී පොල්තෙල් ආකාර 3ක් හඳුනාගත හැකිය.නම් වශයෙන් ගත් කළ,

1.අත් තෙල් 2. සෙක්කු තෙල් 3.මෝල් වල හිඳින තෙල් ලෙසයි.එහෙත් මෑත කාලීන භාවිතය සහ ජාත්‍යන්තර වර්ගීකරණය අනුව ආකාර 6 කට අධිකය. එනම්,1.පිරිසිදු (Pure coconut oil) 2.පිරිපහඳු කළ (Refined coconut oil) 3.ඵෙන්ඳ්‍රීය (Organic coconut oil) 4.නැවුම් (Virgin coconut oil) 5.ඵෙන්ඳ්‍රීය නැවුම් (Organic virgin coconut oil)6.අතිරේක නැවුම් (Extra virgin refined) මේවායේ වෙනස්කම් පිළිබඳව වෙන වෙනම මෙහිදී සළකා නොබැලෙන අතර පොදුවේ සැළකූවිට පොල් තෙල් වල 90% ක් පමණම අඩංගු වන්නේ සංතෘප්ත මේදය යි. පොල්තෙල් වල සුලබතම සංතෘප්ත මේද ආකාරය නම් ලෝරික් අම්ලය යි. සියලුම සංතෘප්ත මේද ආකාර දේහයට අහිතකර ලෙස පෙරදී මතයක් මුල්බැස තිබුණ ද අද වන විට සමහර සංතෘප්ත මේද ආකාර දේහය තුළ සුවිශේෂී කාර්‍ය්යක් ඉටු කරන බව හඳුනාගෙන ඇත.එබැවින් කෙටි දාම සහ මධ්‍යම දාම මේද අම්ල දේහයට හිතකර සහ ජීර්ණයට ලක් වෙයි.ලෝරික් අම්ලය වනා හි මධ්‍යම දාම සංතෘප්ත මේද අම්ලයක් වන අතර මව්කිරි වල සුලබතම සංඝටකයක් බැව් සුප්‍රසිද්ධ කරුණකි. ලෝරික් අම්ලය මඟින් දේහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තවදුරටත් ශක්තිමත් කරනවා පමණක් නොව කොලෙස්ටරෝල් යාමනය,අධිරුධිර පීඩනය සහ හෘද රෝග,දියවැඩියාව සහ වයස්ගතවීමේදී ඇතිවන ඇල්ෂයිමර් තත්ත්වයන් බොහෝදුරට පාලනය කිරීමේ හැකියාවකින් යුක්තය. එමෙන්ම ක්ෂුඳ්‍රජීවිනාශක හැකියාව සහ ප්‍රතිඔක්සිකාරකයක් ලෙසද දේහයට වැදගත් වෙයි.ඵළවළු තෙල් ලෙස කටවහරේ පැවතුණ ද මෑතකාලයේ දී එළවළු තෙල් ලෙස හඳුන්වන තෙල් වල අඩංගු වන්නේ කැනෝලා,සූරියකාන්ත ආදියෙන් ලබාගන්නා තෙල් ස්වල්පයක් සමඟ අධික පාම්තෙල් ප්‍රතිශතයකි. පාම් තෙල් යනු කටුපොල් ශාකයේ ඵලාවරණයෙන් ලබාගන්නා තෙල් වර්ගයක් වන අතර මෙය ද සංතෘප්ත මේද අම්ල 50% ක් පමණ අඩංගුය.නමුත් එහි ප්‍රධානතම (44%)සංතෘප්ත මේදය වන්නේ පාමටික් අම්ලය යි.මෙය දිගු දාම සංතෘප්ත මේද අම්ලයකි.එබැවින් ඒවා ජීර්ණය නොවන අතර අහිතකර අඩුඝණත්ව කොලෙස්ටරෝල් මට්ටම වර්ධනය හා රුධිරයට එකතු වී රුධිර නාල වල තැන්පත් වීමත් සිදුවෙයි.කොලෙස්ටරෝල් සම්බන්ධයෙන් මෙහිදී සරලව පැහැදිළි කළහොත් දේහයට කොලෙස්ටරෝල් යම් ප්‍රමාණයක් අවශ්‍ය වන අතර දේහය මඟින් මෙම හිතකර කොලෙස්ටරෝල් නිපදවා ගනී.මෙම දේහ හිතකර කොලෙස්ටරෝල් වැඩිඝනත්ව ලිපප්‍රෝටීන (HDL) කොලෙස්ටරෝල් වන අතර ඒවා රුධිර නාල අවහිර නොකරයි.රුධිර නාල තුළ ඵලක ලෙස තැන්පත් වන්නේ අඩුඝණත්ව ලිපප්‍රෝටීන(LDL) කොලෙස්ටරෝල් සහ ඉතා අඩු ඝණත්ව ලිපප්‍රෝටීන(VLDL) කොලෙස්ටරෝල් ය. පොල්තෙල් වල සංයුතිය මෙම හිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැංවීමත් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පහත හෙලීමටත් දායක වෙයි.එමෙන්ම ඉහත සදහන් කළ කිසිදු ශාක තෙල් ආකාරයක කොලෙස්ටරෝල් නොමැති අතර(Cholesterol free) සත්ත්ව මේදය තුළ පමණක් අඩංගු වෙයි.මීට අමතරව ට්‍රාන්ස් මේදය ලෙස හදුන්වන්නක් ද පවතින අතර එය ද දේහයට අහිකර ලෙස බලපාන්නකි.මෙය අසංතෘප්ත මේද ප්‍රභවයන්ගෙන් සැකසූ තෙල් යොදා ඉහළ උෂ්ණත්ව වල ආහාර සැකසීමේ දී ජනනය වෙයි.පොල්තෙල් වල සංතෘප්ත මේදය 90% ක් පමණම අඩංගු බැවින් මෙම තත්ත්වය අදාළ නොවේ.එමෙන්ම නැවත නැවත භාවිතයට ගැනීමද ගැටලු සහගත නොවන්නේ අහිතකර පෙරොක්සයිඩ ජනනය වීමේ සම්භාවිතාවත් අවම නිසාය.එහෙත් වෙනත් ශාකතෙල් වලින් ඉහළ උෂ්ණත්ව වල ආහාර සැකසීමේදී මෙම අහිතකර ට්‍රාන්ස් මේදය ජනනය වීමේ සම්භාවිතාව ඉහළ අතර ඒ හේතුවෙන් කාමර උෂ්ණත්ව වල භාවිතය ට වඩා සුදුසුය.පිරිසිදු පොල්තෙල් වලින් ආහාර පිසීමේදි ඒවාට තෙල් අවශෝෂණය වන ප්‍රමාණයද අවම නමුත් වර්තමානයේ මිලට ගන්නා බොහොමයක් තෙල් දමා සැකසූ ආහාර වල අධික ලෙස තෙල් අඩංගු වන්නේ බොහෝවිට පොල්තෙල් පාම්තෙල් සමඟ ම්ශ්‍ර කර සැකසූ බාල තෙල් මඟින් ඒවා සාදා ඇති නිසාය. ගෘහස්ථ භාවිතාවන් වලදී රත්වීමේදී අධික ලෙස පෙණබුබුළු හටගන්නේ නම් එයට පාම්තෙල් මිශ්‍ර කර ඇති බැව් හදුනාගත හැකිය.