October 16, 2021

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

වැඩි පෝෂණයක්‌ සහිත ආහාර වර්ග

නීරෝගි සෞඛ්‍ය සම්පන්න දිවියක්‌ ගතකිරීම සඳහා අප වැඩි අවධානයක්‌ යොමුකළ යුතු කරුණු මොනවාද?නීරෝගි දිවියක්‌ ගතකිරීම සඳහා අප ආහාර පාන මෙන්ම සනීපාරක්‍ෂාව ගැනත් සැලකිලිමත් විය යුතුයි.අපේ ඉතිහාසයේ සඳහන් වන දසමහා යෝධයන් මෙන් ශක්‌ති සම්පන්න නීරෝගි දරුවන් බිහිකරන්න බොහෝ දෙමාපියන් තුළ බලාපොරොත්තු තිබෙනවා. නමුත් ඒ සඳහා ඔවුන් තුළ නිසි අවබෝධය සහ දැනුම නැහැ.දරුවකු නීරෝගිව මෙලොවට බිහි කරන්න නම් දෙමාපියනුත් නීරෝගීව සිටිය යුතුයි. ඔවුන් නිසි පෝෂ්‍යදායී ආහාර පාන ගෙන ශක්‌තිමත්ව ලෙඩ රෝග වලට ඔරොත්තුදීමේ හැකියාව ඇති කරගත යුතුයි. එහෙම නොවුණොත් ඔවුන්ගෙන් බිහිවන පරම්පරාව අඟුටුමිට්‌ටන් බවට පත්වේවි.එනිසා පෝෂ්‍යදායී ආහාර පාන ගත යුතුයි. නිසි පරිදි ජලය පානය කළ යුතුයි. ව්‍යායාම වල නිරත විය යුතුයි.මනසට විවේකය ලබාදිය යුතුයි.වර්තමානයේ අතිධාවනකාරී සංකීර්ණ ජීවිතයක්‌ ගතකරන බොහෝ දෙමාපියන් නීරෝගි දිවියක්‌ ගතකිරීම සඳහා යෑයි සිතමින් ආහාර පාන සඳහා සෞඛ්‍ය ආරක්‍ෂාව සඳහා අනවශ්‍ය ලෙස මුදල් වැයකරනු දැකිය හැකියි.මනසට විවේකය ලබාදීම සඳහා යෑයි පවසමින් විවිධාකාරයේ ක්‍රියාමාර්ග වලට යොමුවෙනවා.අවසානයේදී සිදුව ඇත්තේ මුදල් වැයවීම සහ කාලය වැයවීම පමණක්‌ බව වටහා ගන්නා විට ජීවිතයේ බොහෝ දුරක්‌ ගෙවා තිබේ.අප රටේ කෙතරම් පෝෂ්‍යදායී අල වර්ග තිබෙනවාද කියා දන්නේ සුළු පිරිසයි. අල වර්ග 75 ක්‌ පමණ තිබෙනවා.අපි බහුතරයක්‌ දන්නේ අර්තාපල් ගැන විතරයි. කිරි අල, කොළ අල, ඉන්නල, දෙහි අල, සුදු අල, බතල ලෙසින් අල වර්ග අපට ඉතා පහසුවෙන් ලබාගත හැකියි. බතල කිලෝ දෙකක්‌ම රුපියල් සියයට අලෙවි කරනවා දැක තිබෙනවා.මෙම අල වර්ග වල පිළිකානසන ගුණ හෝමෝන වර්ධනය කරන හැකියාව. ප්‍රතිශක්‌තිය වර්ධනය කරන පෝෂ්‍යද්‍රව්‍ය අඩංගුව තිබෙනවා.නමුත් අප තුළ මේ අවබෝධය නැති නිසා ඉතා පහසුවෙන් ලබාගත හැකි පෝෂ්‍ය ද්‍රව්‍ය ලබා නොගෙන අනවශ්‍ය දේවල් සඳහා මුදල් වැඩිපුර වැයකරනවා.එළවළු වර්ග ගත්තොත් අපේ රටේ තරම් පහසුවෙන් සහ අඩුමිලට ගත හැකි එළවළු වර්ග වෙන කොහේවත් නැහැ. හැබැයි අප බොහෝදෙනා මිලදී ගන්නේ එළවළු වර්ග දෙක තුනක්‌ පමණයි. කැරට්‌, බෝංචි, ලීක්‌ස්‌ ඒ අතර හරිම ජනප්‍රියයි. එම ජනප්‍රිය බව නිසාම මිලත් ඉහළයි.ග්‍රෑම් දෙසිය පනහ, රුපියල් හතළිහෙන් ඉහළයි.හැබැයි කොස්‌ගැට මාළුව, කලුපොල් මාළුව සඳහා ගත හැකි කොස්‌වල මිල ගණන් හරි අඩුයි.කෙසෙල් බඩ මාළුවක්‌ සඳහා ගතහැකි අළු කෙසෙල්, සීනි කෙසෙල්, ඇඹුල් කෙසෙල් බඩ, විසිකරලා දානවා.මෙම ආහාරවල තියෙන ගුණ බොහෝ දෙනා දන්නේ නැහැ.

කෙසෙල් බඩ මාළුවක්‌ සාදාගෙන ආහාරයට ගත්තොත් බඩවැල් වල තිබෙන රෝග රැසක්‌ සුවවෙනවා. ආහාර අජීර්ණ, ග්‍රැස්‌ට්‍රයිටීස්‌, මළබද්ධය ඇතිවන්නෙ නැහැ.වට්‌ටක්‌කා, පතෝල, වැටකොළු, කතුරු මුරුංගා වැනි ආහාර වල ප්‍රතිශක්‌තිය වර්ධනය කරන පෝෂණය තිබෙන බව හෙළිවී තිබෙනවා.මෙවැනි ආහාර වර්ග ගන්නා අයට නිතර වැළඳෙන වෛරස ආසාදන වලින් බේරී සිටීමට හැකියාව තිබෙනවා.දිනපතා ආහාරයට වෙරළු දළු මැල්ලුමක්‌, කාමරංකා දළු මැල්ලුමක්‌, වැල් ගොටුකොළ, හීන් ගොටුකොළ සලාදයක්‌ එක්‌කර ගතහොත් අපේ ශරීරයේ තිබෙන විෂ ද්‍රව්‍ය මර්දනය කරගත හැකියි. වකුගඩු රෝග, දියවැඩියාව, කොලෙස්‌ටරෝල් පාලනයට මෙම ආහාර ඉතා ගුණදායකයි.දිනපතා ආහාර වේල් සඳහා ගනු ලබන සහල් වර්ගද සතියකට දෙවරක්‌වත් වෙනස්‌ කළ යුතුයි. එකම සහල් වර්ගය එක දිගට ආහාරයට ගැනීම හොඳ නැහැ. එකම සහල් වර්ගය ආහාරයට ගැනීමෙන් ශරීරයේ ප්‍රතිශක්‌තිය ශක්‌තිමත්වන්නේ නැහැ. එය ශක්‌තිමත්වන්න නම් වර්ග කිහිපයකින් සහල් වර්ග නිතර ආහාරයට ගත යුතුයි.කුරුළුතුඩ, පච්ච පෙරුමාල්, සුදු හීනටි, ගොඩ හීනටි වැනි සහල් වර්ග අපට නිතර ආහාරයට ගත නොහැකිවුවත් හැකි සෑම මොහොතකම ප්‍රධාන ආහාර වේලක්‌ සඳහා හෝ කැඳ වර්ගයක්‌ සාදා ගැනීම සඳහා යොදා ගැනීමට උනන්දුවිය යුතුයි. මෙම සහල් වර්ග වල පිළිකා නසන ගුණ තිබෙනවා.මනසට විවේකයක්‌ ලබාදීමේදී අප හැකිතාක්‌ දුරට ඇළ දොළ, ගහකොළ සතුන් ඇති පරිසරයක ගතකරන්න උත්සහ කළ යුතුයි. ඉන් අපගේ මනසට ලැබෙන සැහැල්ලුව ඉතාමත් ඉහළයි.ඉතිං…. මෙවැනි කටයුතුවල යෙදෙන්න අපට එතරම් මුදල් වැයවන්නෙ නැහැ. නමුත් අප මෙවැනි දේවල් ගැන සිතන්නේ නැති නිසා මුදල් වැයකර ලෙඩ රෝග ඇති කරගන්නවා.එසේ මුදල් වැයකර ලෙඩ රෝග වැළඳ ගන්නා අතර අපේ ආච්චිලා සීයලා නම් ගස්‌ ගල් වගේ හයිය ශක්‌තිය ඇතිව ජීවත්වුණානේ යෑයි කියමින් මානසිකව පීඩා විඳිනවා. එනිසා දැන්වත් අපි මේ ගමන් කරන අතිධාවනකාරී ජීවනරටාව ක්‍රම ක්‍රමයෙන් වෙනස්‌ කරගතහොත් අපට අතීතයේදී මෙන් වර්තමානයේත් දසමහා යෝධයන් බිහිකරගන්න හැකියාව උදාකර ගත හැකියි.( මොරටුව ලියන්වෙල සෘෂි නාඩි වෛද්‍ය මධ්‍යස්‌ථානයේ මහාචාර්ය වෛද්‍ය ජිනසිරි ලියන්වෙල )