October 1, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

මොළය වර්ධනය කරන නියං වැටකොළු

වියලි කාලගුණයට හොදින්ම ඔරොත්තු දෙන වස-විස නොගසා අවම නඩත්තුවකින් ගෙවත්තෙන්ම පෝෂණීය ආහාරයක් සපයාගතහැකි ශාකයක් තමයි නියං වැටකොළු. හොදින් නඩත්තු කල වැලක් විශාල අස්වැන්නකුත් ලබා දෙනව.වැටකොළු ප්‍රතිඔක්සිකාරක, විටමින් (විටමින් A, විටමින් B), ඛණිජලවන (මැන්ගනීස්, පොටෑසියම්, කොපර්) හා තන්තු(dietary fiber) වලින් අනූන ආහාරයක්. ආතරයිටිස්, දියවැඩියාව, සමේ වියලිබව හා රැලිවැටීම් සදහා, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ හා මොළයේ ක්‍රියාකාරීත්වයට, ඇසේ පෙනීම රැකගැනීමට හා ලේ වඩවන ආහාරයක් විදියටත් මෙය අපගේ ආහාර වේලට එකතුකර ගත යුතුම පෝෂණ ගුණයෙන් සපිරි එළවළුවක්.ගෙවත්තේ නියං වැටකොළු වැලක් හදාගන්නෙ කොහොමද? කොම්පෝස්ට් යොදා සකස් කරගත් වලක කෙලින්ම බීජ සිටුවීම හෝ කලින් පැලකරගත් කුඩා පැල සිටුවීම කල හැකියි. වැටකොළු වැලට වර්ධනය වීම සදහා ආදාරකයක් සැපයීම අනිවාර්යයෙන් කල යුතුයි. වැටකොළු ගැහැනු මල් පරාගනයවෙන්න මීමැස්සන් උපකාර කරනව ඒනිසා මීමැස්සන් ආකර්ෂණයට සීනියාස් වගේ පැල ටිකකුත් හදන්න. මීමැස්සන් අඩුනම් කෘතිමව පරාගනය කිරීමටත් පුලුවන්.ආහාරයට එකතුකරගත හැකි ක්‍රම මොනවාද?අපි මෙය කිරට එළවළුවක් විදියට විතරයි හදන්න පුරුදුවෙලා ඉන්නෙ, ඒ නිසා අස්වැන්න අපතේ යාමත් වැඩියි. ගෙදර අය කැමතිත් නෑ නෙ එකම විදියට කන්න. ඒක නිසා මම ගෙදර හදන වෙනස් ක්‍රම ටිකක් ගැන කියන්නම්.නියං වැටකොළු ලපටි කරල් වල තියෙන්නෙ සුකිනි වලට සමාන රසක්. ඒක නිසා මේ ලපටි කරල් අමුවෙන් සලාදයක් විදියට සකසාගෙන ආහාරයට එකතුකර ගන්න පුලුවන්. මම නම් රතු ලූනු , ගම්මිරිස් , ලුනු, දෙහි එකතු කරල තමයි සලාදය හදන්නෙ.ලංකාවේ වැඩිය ජනප්‍රිය නොවුනත් ගොඩාක් ආසියාතික රටවල් වැටකොළු සුප් සදහා භාවිතා කරනව.

වැටකොළු වල තියෙන්නෙ හරිම මෘදු රසක් හා සුවදක්. මේ රස සුවද සුප් එකේ තියාගන්න ඕන නිසා ගොඩක් කුළුබඩු වර්ග පාවිච්චි නොකර ගම්මිරිස්, ලුනු පමණක් එකතු කිරීම ප්‍රමාණවත්. එක් එක් අයගේ රුචි අරුචි කම් අනුව කැමති විදියකට සකසාගන්න පුලුවන්.වැටකොළු ස්ටෆ්‍රයි එක නම් හැදුවෙ කොරියානු අය කෑම හදන ක්‍රමවල ආභාශය අරගෙන. භාජනයකට ඔලිව් තෙල් ටිකක් දාල ඉගුරු, සුදුලූනු, ලූනු කොල ටිකක් දාල අඹරගත්ත මිරිස් පේස්ට් ටිකක් එකතුකරල ටික වෙලාවකින් වැටකොළු ටික දාල, ලුනු පොඩ්ඩක් එකතු කරනව. අන්තිමට වතුර මේස හැදි 2-3ක වගේ දිය කරගත් කෝන් ස්ටාච් ටිකක් එකතු කරල පොඩ්ඩක් මිශ්‍රකරල ලිපෙන් බාගන්නව.වෙනත් ප්‍රයෝජන මොනවාද?නියං වැටකොළු කරල් කිහිපයක් වියලීමට තබා සකසාගත හැකි නියං වැටකොළු කොස්ස ඇග සේදීමට පාවිච්චි කරන්න පුලුවන්. අතීතයේ අපේ ගෙවල්වල භාවිතාකල දැන් අපෙන් ගිලිහුණු දෙයක්. ඒත් මේක සෞඛ්‍යයටත් හිතකර පරිසර හිතකාමී දෙයක් නිසා අද වනවිට යුරෝපය හා ඇමරිකාවේ ඉතාමත් ඉහල මිලකට විකිණෙන දෙයක්. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ප්ලාස්ටික් ඒවා වගේ නෙමෙයි මෙය සෑමදාම පාවිච්චියට පෙර උණු වතුර එකක දමා හෝ තත්පර කිහිපයක් මයික්‍රොවේව් කරගැනීමෙන් අපිට අහිතකර බැක්ටීරියා ඉවත්කර ගන්නත් පුලුවන්. ඒවගේම උනන්දුව ඇති කෙනෙක්ට හොද ස්වයං රැකියාවක් පටන්ගැනීමටත් පුලුවන්.අතීතයේ අපිට උරුමවී තිබුන, වර්තමානයේ අපෙන් ගිලිහුණු, පෝෂණය ගුනයෙන් පිරි දේශීය ආහාර වස විසෙන් තොරව අපේ ගෙවත්තෙන්ම කෑම වේලට එකතුකර ගන්න අපි හැමෝම හැකි උපරිමයෙන් උත්සාහකරමු.(සටහන හා ජ්‍යාරූප: නීනා යි)