September 27, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

කැලයක් මැද පිහිටි සුන්දර වෙරළ

අද අපේ ලංකාව පළාත් නවයක් ඇතුලෙ දිස්ත්‍රික්ක විසිදෙකකට බෙදිලා තිබුණට, ඉස්සර රජකාලේ තිබිලා තියෙන්නේ කොටස් තුනයි.ඒ තමයි රුහුණු මායා පිහිටි කියල රාජ්‍යයන් .මේ රටවල් තුනෙන් මායා,පිහිටි කියන රටවල් දෙක අමතක වෙලා ගියත් රුහුණ කියන්නෙ දකුණු පළාතට කියලා ඕනම කෙනෙක් දන්නවා.ඉතින් මේ පාර අපි යන්න හිතුවා හැමෝම දන්න රුහුණු රටේ අගනුවරට. රුහුණු රටේ අගනුවර ගාල්ල ,මේ නම ඇහෙනකොටම ඕනම කෙනෙක්ගෙ මතකයට එන්නේ ගාලු කොටුව.හැබැයි ගාල්ල ඇතුලේ තවබලන්න දේවල් ගොඩක් තියනවා.මේ දේ වල් ගැන අපි නොදන්නවා වුණාට ලංකාවට එන සංචාරකයො නම් හොඳට දන්නවා.ඒක තමයි සීසන් කාලේට ගාලු පුරවරය සංචාරකයන්ගෙන් පිරිලා යන්නේ.හික්කඩුව ,උණවටුන කියන්නෙත් ගාල්ලෙ තියන සුන්දර වෙරළ තීරයන් දෙකක් .මේ වෙරළ තීරයන් දෙකට අමතරව ගාල්ලෙ තවත් වෙරළක් තියනවා.ඒ තමයි ලංකාවෙ තියන කුඩාම ලස්සනම වෙරළ තිරය.මේ අපූරු වෙරළ තීරය පිහිටලා තියෙන්නේ රූමස්සල.පුංචි කැලෑවක් ඇතුලේ තියන නිසා මෙතනට හැමෝම කියන්නේ ජන්ගල් බීච් කියලා.ජන්ගල් බීච් කියන්නේ නිල්ම නිල්පාට වතුර තියන,රැල්ල ගහන්නේ නැති නොගැඹුරු ,බයනැතිව බැහැලා නාන්න පුළුවන් පිහිනුම් තටාකයක් වගේ තැනක් ඒ නිසාම මෙතන දැන් හරිම ජනප්‍රියයි.ඒ නිසාම තමයි අපි ඔබට මේ ගැන කියන්න හිතුවෙ. අපි.ජන්ගල් බීච් ගියෙ සති අන්තෙක.මේ බීච් එකට යන්න හරිම ලේසියි කොළඹ ගාල්ල අදිවේගී මාර්ගෙන් ගාල්ලට එනකොට තියන කලර් ලයිට් එකෙන් පරණ මාතර පාරට දාලා මීටර් සීයක් විතර ඉස්සරහට ගියාම දකුට තියන පාර දිගේ කිලෝමීටර් හතරක් වගේ ආවම තමයි ජන්ගල් බීච් තියෙන්නේ . අපි ගියේ ගාල්ලෙ ඉදලා ස්කූටරයකින් ගමනට චමිල අයියත් එකතු වුනා.රෑමස්සල පාර හරිම සුන්දරයි කන්ද මුදුනට යනකොට ගාලු නගරය හරි අපූරුවට පේනවා.අපි කෙලින් ජන්ගල් බීච් එකට ගියෙ නෑ.මේ ගමනෙදි අපට හමුවෙනවා අපූරු තැනක් ඒ තමයි රෑමස්සක ජපන් සාම චෛත්‍යය.අපි මුලින්ම ගියෙ සාම චෛත්‍යය වන්දනා කරන්න.

ලංකාවෙ මේ වගේ ජපන් සාම චෛත්‍යය පළාත් කිහිපයකම ඉදිකරල තියනවා.යුදගිණි නිවිලා මුලු රටටම සාමය උදාවෙන්න කියල ප්‍රාර්ථනා කරල ඉදිකරපු නිසා මේ වෙහෙර වහන්සේලාට කියන්නේ සාම චෛත්‍යය කියලා.රෑමස්සල සාම චෛත්‍යය අපේ රටේ අයටත් වඩා ජනප්‍රිය පිටරට අය අතර.අපේ මිනිස්සු පිට පාරෙන් ජන්ගල් බීච් යනකොට පිටරට අය සාම චෛත්‍යය වන්දනා කරනවා දැකපු නිසා තමයි මම එහෙම කිව්වෙ. අපි ගියෙ හවස හතරට විතර උනත් අවුවනම් දවල් 12ට වගේ සැරයි ඒ නිසා ඉක්මනින් වෙහෙර වැදගෙන අපිත් ජන්ගල් බීච් එක පැත්තට ඇදුනා.ටික දුරක් පහලට ගියාම හමුවෙන්නේ රෑමස්සල රක්ෂිතය .මේක රක්ෂිතයක් නිසා කාටවත් ඉදිකිරීම් කරන්න බෑ .එහෙම නොවුනම් රෑමස්සල කියන්නෙත් කොන්ක්‍රීට් වනාන්තරයක්.වැටෙකෙයියා පඳුරු ඇතුලෙන් කුරුළු ගීත අහගෙන සුන්දර වෙරළ හොයාගෙන අපි පහළටම ගියා.ඒ යනකොට ජන්ගල් බීච් එකේ හරියට සෙනග.සති අන්තෙ නිසා හැමෝම නාන්න ඇවිත්.ඒ අතර ලංකාවෙ අය වගේම පිට රට අයත් අපිට දකින්න ලැබුණා .සතිය පුරා වැඩකරලා මහන්සිවෙලා ඉන්න කෙනෙකුට .පරිසරය විඳගන්නට වගේම හිතේ හැටියට නාන්න පුළුවන් තැනක් තමයි ජන්ගල් බීච් කියන්නේ.ඒ නිසාම තමයි මෙතනට හැමෝට එන්නේ.හැබැයි සුන්දර වෙරළට එන අය යනකොට යන්නේ මෙතන විනාශ කරලා.අපි ජ්න්ගල් බීච් එකට ගියෙ ඉරිද හවස නිසා අපිට අපේ රටේ මිනිස්සුගෙ වැඩ හොඳට බලාගන්න පුළුවන් වුණා .සමහරු මෙතනට එන්නේ බොන්න බීලා කාලා සිහිය නැතිව කාපු බීපුව ඔක්කොම බීච් දාලා ගිහින් තියනවා අපට දකින්න ලැබුණා .මේ වගේ තැනක මිනිස්සුන් මත් ද්‍රව්‍ය පානය කරන්න නිරාවරණය කිරීම නම් හරිම අපරාදයක් .අපේ රටේ පරිසරය අදිකාරි මැදිහත් වෙලා ඒක තහනම් කලේ නැත්නම් මෙත බෝතල් බීච් එකක් බවට පත්වෙනවා.ඉතින් ඔබට කියන්න තියෙන්නෙ මෙච්චරයි .ඔබත් දවසක යන්න ගිහින් හොදට නාලා පරිසරය විඳගෙන එන්න .ඉන් එහාට මෙතන කාලා බීලා විනාශ කරන්න යන්න එපා.හැමෝම එකතුවෙලා මෙතන රැක ගන්න. (නිශ්ශංක මුවර්)