September 25, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

ගෙඳපලා ශාකය දවත් රෝග වලට ගුණයි

ගෙඳපලා (Purslane) කියන්නෙ සෑම ගෙවත්තකම පාහේ ඉබේ වැවෙන පෝෂ්‍ය ගුණයෙන් ඉතාම ඉහල පලා වර්ගයක්. මෙය ගෙවත්තෙන්ම ඔමෙගා-3 පහසුවෙන්ම, ලාභදායීම විදියට සපයාගත හැකි හොඳම ක්‍රමයයි. ඒවගේම මෙය විටමින් ඒ, බී, සී සහ ඊ මෙන්ම, යකඩ, මැග්නීසියම්, මැංගනීස්, පොස්පරස්, පොටෑසියම්, කැල්සියම් හා සින්ක් වැනි ඛණිජලවන වලින්ද අනූනයි.ඔමෙගා-3 මේද අම්ලය, හදවත් රෝග වැලැක්වීමට මෙන්ම කුඩා දරුවන් තුළ ADHD, ඕටිසම් වැනි තත්ත්ව ඇතිවීම වැලැක්වීමටත් උපකාරී වෙනව. මෙහි අඩංගු විටමින් ඒ, ඇසේ පෙනීම රැකගැනීමට වගේම පිලිකා අවදානම අවම කිරීමටත් උපකාරී වෙනව. කැලරි අඩුම එහෙත් තන්තු හා පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් අනූන නිසා බර අඩු කරගැනීමටත් උදව් වෙනව. එපමණක් නොව ගෙඳපලා, ආහාර මාර්ගය ආශ්‍රිත රෝග වැලැක්වීමට, සමේ රෝග වැලැක්වීමට, අස්ථි ශක්තිමත් කිරීමට වගේම රුධිර සංසරණ ක්‍රියාවලිය මනාව පවත්වාගෙන යාම සඳහාත් උපකාරී වෙනව.ගෙඳපලා වල කඳ රතු පැහැයට හුරු අතර කහ පැහැති කුඩා මලක් පිපෙයි. වෙලඳපොළේ විවිධ වර්ණයන්ගෙන් මල් පිපෙන මීට සමාන විසිතුරු පැලත් තිබෙන නිසා ඒවා සමග පටලවා නොගන්න. ඉතාම ගුණදායී, ගෙවත්තේ ඉබේ වැවෙන මේ පලා වර්ගය ක්‍රම ගනනාවකට කෑමට එකතු කර ගත හැකියි.ගෙඳපලා ආහාරයට එකතුකර ගතහැකි ක්‍රම:

1. සාමාන්‍යයෙන් අපි හැමෝම වගේ ගෙඳපලා පරිප්පු වලට එකතු කරල උයනව. ඒවගේම මෙය කඩල හෝ වෙනත් ධාන්‍ය වර්ග උයන විටත් එකතු කළ හැකියි. තව සුප් වර්ග සෑදීමේදීත් මම ගෙඳපලා ටිකක් එකතුකරනව.2. ගෙඳපලා සලාදයක් ලෙසත් ආහාරයට එකතු කර ගන්න පුලුවන්. එය ළූනු, මිරිස්, ලුනු, දෙහි මිශ්‍රකර සාදාගන්නත් පුලුවන්. මධ්‍යදරනී ක්‍රමයට ඒ රසට කැමති නම් ඒකටම තක්කාලි ටිකක් ඔලිව් තෙල් ටිකක් එකතු කරල හදන්නත් පුලුවන්.3. ඒ වගේම අපිට උදෑසන ආහාරයට පලතුරු ස්මූදි(උකු සිසිල් පලතුරු බීමක්) සකස් කරනවිටත් ගෙඳපලා ඊට එකතු කිරීමට පුලුවන්.4. Purslane sautéed. ගෙඳපලා දඬු ටික නටන ජලයට එක්කර, විනාඩි 3-4 කින් පමණ ඉවතට ගෙන, භාජනයක තෙල් පොඩ්ඩක් රත් කර එයට එකතු කර ලුනු, සුදුලූනු, ගම්මිරිස් ටිකක් එකතුකර ආහාරයට සකසාගන්නත් පුලුවන්.5. ඒ වගේම ගෙවත්තේ වැඩිපුර තිබෙන ගෙඳපලා ටික කුඩා කොටස් වලට කපා වියලාගෙන, ඉතාමත් ඉමිහිරි රසක් හා සුවඳක් තිබෙන ඖෂධීය සුදු තේ (herbal white tea) සකසා ගන්නත් පුලුවන්. ඒ වගේම මෙය කෙනෙක්ට වෙළඳපොළ ඉලක්කකර ගෙන ස්වයං රැකියාවක් ලෙස උනත් කිරීමට පුලුවන්.මේ මම මගේ ගෙවත්තේ ගෙඳපලා ආහාරයට එකතුකර ගන්නා විවිධ ක්‍රම. ඔබත් මේ ක්‍රම අත්හදාබලමින් පෝෂ්‍යදායි ගෙඳපලා අදසිටම ආහාර වේලට එකතුකර ගන්න.