October 3, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

විහාර මහා දේවියගෙ අනුහස්

අහසට දත නියාගත් වත ඇතිව රන්පත්විල වැව නිසොල්මනේය. වැව මැද්දෑවේ ඇති දිය පොද මත ලැග සිටිනා ලූලන්, ආඳන්, කාවයියන්ට මාන ලන මාන කොක්කුන් අහසමහ පොළොව සමඟ අල්ලන අඩව්වේ සාක්ෂිකරුවන් වැන්න. පස් අවුරුද්දක් තිස්සේ හරිහමන් වර්ෂාවක් නොලද රජරට වැව් සියල්ලම පාහේ රන්පත්විල වැවට දෙවැනි නොවේ. රන්පත්විල වැවේ ලොකු සහෝදර තැන වන කනදරාව වැව පමණක් තවමත් ඒ හැටියට යා දෙකයි කිව නොහැකි වතුර ඩිංගක් සමඟ සෙන්සෙලෙප්පුවේය. රන්පත්විල වෑකන්ද මත සිට බලන්නකුට වැව කෙතරම් විශාලද යන්න පහදා ගැනීමට නොහැක්කේ වැව වන රොදවල් තුළට අෑගුල්ව ගොස් ඇති නිසාය. සම්පූර්ණයෙන්ම වැව පිරී ගිය විටදී රන්පත්විල වැව් ජලය තදාසන්න බෙහෙත්කෑව වැව කරාද යොමුවන්නේ යැයි කියනු ලැබේ. වෑකන්ද මතින් ඇවිද යන විට නිමවන දසුන් පෙළ පවසා සිටින්නේ හොඳහැටි වැසි ලැබ රාමතෙල් පිටකරන්න ගන්නා විට වැව් ලාලනියගේ තරමය. උස ජල මට්ටම විශාල පර්වත මැද්දෑවේ ඇඳි අවසන් රේඛාවන්ද මේ වන විට වියැකී යමින් පවතියි. අප රන්පත්විල වෑකන්ද මතින් ඇවිද යන්නේ ඉතිහාස කතාකරු විසින් නිසි ලෙස කතාබහ නොකළ ඉසව්වක් සොයාය. එම කතා ප්‍රවෘත්තියේ කතානායිකාව වන්නේ විහාරමහා දේවිය ය. මුඛ පරම්පරාගතව පැවැත එන ජනප්‍රවාදයන්ට අනුව රන්පත්විල වැවට ආසන්නයේ උස් බිමක තිබී ඇත්තේ විහාර මහා දේවියගේ මාලිගාවය. ඇය එහි පැමිණ ඇත්තේ තම පුතු වන දුටුගැමුණු රජුගේ සුවිශේෂී විහාර කර්මාන්තය රුවන්වැලි මහා සෑය ගොඩනැඟීම සඳහා සහාය වීමට යැයි කියැවේ. බත බුලතින් රට ස්වයංපෝෂිත කිරීමේ අදිටනද රන්පත්විල වැව ඉස්මත්තේ විහාරමහා දේවියගේ මාලිගය ඉදිවීම සඳහා සුදුසුකමක් වන්නටද ඇති. ගමන් මඟ සකසා ගන්නා අතරවාරයේ ලැබූ උපදෙස් වූයේ වෑකන්ද මතින් නැඟෙනහිර කෙළවරට ගමන් ගන්නා ලෙසයි.කහටගස්දිගිලිය ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ සහකාර විදුහල්පතිනි හේමාවතී මහත්මිය ගමනේ පෙරමුණේරාලය. ඇයට අනුගතව අපි විහාරමහා දේවිය විසූ මාලිගා බිම සොයා යමින් සිටියෙමු. වැව කෙළවර වන වටපිටාව පිළිබඳ අදහස් කිසිවක් නොමැත. ඇවිදින්නන් වාලේ ඇවිද යාද නොහැකිය. වැව් පිටියේ සිට බලන විට පෙනෙන්නේ කටු පඳුරු සහිත යටි වනාන්තරය. අප යටි වනාන්තරය පීරා යා යුතුයි යන්න සහකාර විදුහල්පතිතුමියගේ මතය ය. දුෂ්කරතාවන් පිළිබඳ නොසිතා වන ලැහැබ තුළ ඇය යුහුසුලුව හැසිරේ. “මමත් අවසාන වතාවට විහාරමහා දේවිය සැතපුණු ගල් ඇඳ බලන්න ඇවිත් දැනට අවු. 10ක් විතර. මේ කාලය තුළ පරිසරය ගොඩක් දුරට වෙනස් වෙලා. නිදන් හොරු කරපු විනාශයක තරම” සහකාර විදුහල්පතිනිය එලෙස පවසමින් අතීත මතක නිවැරදි කර ගනිමින් විහාරමහා දේවියගේ මාලිගාව සහිත භූමිය සොයා ගැනීමේ උත්සාහයකය. පිහිටි ගලක් මත සකසන ලද ගල් පඩිපෙළක් ඔස්සේ අපි ගමන් කළෙමු. විශාල පර්වතයක් වන වදුලෙන් මුවාවී ඇති සෙයකි. ගල් පඩිවල දිශාව අනුව අප උස් සම භූමියක් කරා ගමන් කරමින් සිටිනවා විය යුතුය. එම උස් සම භූමිය එක අතකින් රන්පත්විල වැවටද අනෙක් අතින් ඝන වනාන්තරයටද සීමා වී ඇති අතර එම භූමිය වටා ඉපැරණි ගඩොල් සහ ගල් කඳු විශාල ලෙස දැකගත හැකිය. පර්වතය කෙළවර අපූරු ගල් ඇඳකි. එය කෙතරම් සියුම් නිර්මාණයක්ද යත් පස්සට පහු නිදන් සොරුන් සිදුකළ විනාශය නොවේ නම් එකදු ඇද ඉරක් එහි දක්නට නොමැත. ගල් ඇඳ දෙපස ඇත්තේ නොයිඳුල් වනාන්තරයට ආගන්තුක සුවිශාල අරලියා ගස් කීපයකි. විහාරමහා දේවිය ඔලිඳ කෙළියේ නිරත ඔලිඳ පුවරුවද වනාන්තරයට සීමා වන පර්වතය පාමුලය. වන අලින් එහි පැමිණ, අප එහි ළඟාවීමට ප්‍රථමව පිටව ගොස් ඇති බවට සාක්ෂි එමටය. ඔලිඳ පුවරුව කුළුගෙඩි පහර ලැබ දෙකොටසකට වන්නට තිබුණත් එයද ඔපමට්ටම් නිර්මාණයක්ම බව ඇඟවෙන ලක්ෂණ බොහෝය. පර්වතය ඉහළ ඇති ගල්කෙම් කිසිදු දිනකදී සිඳී නොයන ඒවාලු.

රන්පිල වැව සිඳී ගියද ගල්කෙම්වල දිය රැඳී පවතී. එවැනි ගල්කෙම් නිදන් සොරුන්ගේ ග්‍රහණයට නතු වන්නේ එම ගල්කෙම් මුල්කරගෙන මැණික් නිදන් කර ඇතැයි යන මතය නිසාවෙනි. මාලිගා සංකීර්ණයක ලක්ෂණ දක්නට ඇති පර්වතය මත සිට රන්පත්විල වැව හොඳින් පෙනෙයි. මේ මා හැඟි නිර්මාණය රස විඳිමින් විහාරමහා දේවිය සිය ජීවිතයේ අවසන් කාලය කොයි ලෙසකින් මෙහි ගතකරන්නට ඇත්ද? ඉතිහාසයේ කරුණු කාරණාවන්ට අනුගත වුවහොත් රුවන්වැලි මහා සෑය නම් අසිරිමත් නිර්මාණය සිදුවන විටදී පවා විහාරමහා දේවිය මෙම භූමි භාගයේ පදිංචිකාරිනියකි. ඉතිහාස කතාකරුට අනුගත වුවහොත් රන්පත්විල රුවන්වැලි සෑ රදුන් සමඟ දක්වන්නේ දුරස්ථ නොවූ සබැඳියාවකි. අපි සහකාර විදුහල්පතිනි හේමාවතී මහත්මියට සවන් දෙමු. “රුවන්වැලි මහා සෑය ඉදිකිරීමට අවශ්‍ය ගඩොල් විතරක් නොවෙයි මහා අසිරිමත් ආකාරයට මේ මහ පොළොවෙන් රන්, රිදී, තඹ, මුතු, මැණික් ආදී වටිනා සම්පත් පහළ වුණා. අනුරාධපුරයට ඊසානදිගින් ‍ෙදාළොස් ගව්වක් පමණ දුරින් පිහිටි එදා අවුරුවිට කියලා හඳුන්වපු ගමේ මිනිස්සු ගොවිතැන් කරලා බීජ වපුරලා වෙල් යායට ගිහින් බලද්දී රත්තරන් පැළ පොළොවෙන් මතුවුණාලු. උසට නැඟි රන් පැළ වියතක් පමණ උසින් යුක්ත වුණාලු. මිටි ප්‍රමාණයේ රන් පැළ අඟල් 4ක් පමණ උසින් යුතුව බීජ වැපිරීමෙන් පසුදින ගම්වැසියන්ට දකින්න ලැබුණයි කියල කියන්නේ. ඒ අසිරිමත් සිදුවීමෙන් පුදුමයට පත් ගම්වැසියෝ අපේ රජ්ජුරුවන් මහ දාගැබක් ඉදිකරන්න සූදානම් වනවා. ඒ නිසයි මේ පොළොවෙන් රත්තරං පැළ හටගත්තේ කියලා. රත්තරං පැළ පාත්තරයකට පුරවා රජමැඳුට රැගෙන ගොස් තිබෙනවා. ඒ විතරක් නොවෙයි ඊට ටික දවසකට පස්සේ අනුරාධපුරයට නැඟෙනහිර දිශාවෙන් ගවු 28ක් පමණ අෑතින් පිහිටි තඹවිට කියන ගමේ ඔය ආකාරයටම පොළොවෙන් තඹ මතුවෙලා.ඒ තඹත් ගම්වාසීන් රාජ්‍යයේ නායකයා වුණු රජු වෙත රැගෙන ගොස් තිබෙනවා. අනුරාධපුරයට ගිනිකොන දිශාවේ ගවු 16ක් පමණ දුරින් සුමන කියන නමින් එදා හඳුන්වපු වැව අසලින් බොහෝ වටිනා මැණික් වර්ග මතුවෙලා තියෙනවා. පොළොවෙන් මතුවුණු ඒ මැණික් පිළිබඳ ප්‍රවෘත්තිය දුටුගැමුණු රජු දැනගත්තාට පසුව මැණික් උපන් ඒ භූමිය ආරක්ෂා කිරීමත් රජු විසින් ගම්වාසීන්ටම භාර කරලා තියෙනවා. අනුරාධපුරයට දකුණු දිශාවෙන් ගවු 32ක් පමණ දුරින් පිහිටි ඒ කාලේ ඇම්පත කියලා හඳුන්වපු ප්‍රදේශයේ ගල් ලෙනකින් රිදී මතුවෙලා තියෙනවා. අනුරාධපුරයට බටහිර දිශාවෙන් ගවු 28ක් පමණ දුරින් පිහිටි උරුවෙන් නමින් හඳුන්වන ගමේ මිනිස්සු මුහුදු යෑමට වෙරළට ගියවිට මහ සාගරය තුළ තිබෙන වටිනා මැණික් වර්ග මුතු පබළු ආදිය මහා සාගරයෙන් වෙරළට ගොඩගසා ඇති බව දැකලා රජු විසින් සිදුකරන චෛත්‍ය කර්මාන්තය සඳහා එම මැණික් වර්ග රජු වෙත භාරදී තිබෙනවා. රුවන්වැලි මහාසෑයේ ධාතු ගර්භය තුළ සිවුකොනේ තබා ඇති මිරිස් ගල් තරම් විශාලත්වයෙන් යුතු ආලෝකය විහිදුවන මාණික්‍ය 4ක් පිළිබඳ ඉතිහාස කතාකරු පවසා සිටිනවා. ඒ මැණික් ගල් 4 මතුවෙලා තියෙන්නේ අනුරාධපුර නගරයට වයඹ කොනින් 28 ගව්වක් පමණ දුරින් හෙළවාපි නමින් හඳුන්වපු ගමක් ආශ්‍රිත වැවකින්. ප්‍රදේශයේ දඩයමේ ගිය වැද්දෙක් පොළොවෙන් හමුවී තිබූ ඒ විශාල මාණික්‍ය 4 දැකලා එය ඔසවාගෙන මාලිගාවට ගෙන යා නොහැකි නිසා මාණික්‍ය 4 වැලිවලින් වහලා රජුව දැනුවත් කර තිබෙනවා. රුවන්වැලි මහා සෑයට අවශ්‍ය ගඩොල් ලැබුණු ආකාරය, රන් රිදී තඹ, මුතු, මැණික් ලැබුණු ආකාරය විමසාගෙන යද්දී මේ මහා ස්තූපය ඉදිකිරීමට සොබාවධර්මයා පවා කෙතරම් උදවු උපකාර කළාද යන්න පැහැදිලියි.

දුටුගැමුණු රජු පොළොවෙන් මතුවූ රන්, රිදී, මුතුමැණික් ආදී මේ සියලු සම්පත් චෛත්‍ය කර්මාන්තයටම යොදා ගත්තා. රජු ස්වර්ණමාලි මහාසෑය ඉදිකරන්න බිම සකස් කිරීම ආරම්භ කළා කියන්නේ වෙසක් පුර පසළොස්වක පුන් පොහෝදා විසා නැකැතින්. චෛත්‍ය පිළිබඳ නොයෙකුත් ජනප්‍රවාද රැසක් පවතිනවා. චෛත්‍ය අත්තිවාරම ශක්තිමත් කිරීම සඳහා මහ රහතන් වහන්සේලා අධිෂ්ඨාන පූජා පැවැත්වූවා කියායි සඳහන් වන්නේ. ඒ අතරින් රන්පත්විල එසේත් නොමැතිනම් අවුරුවිට කියන ගම්මානය අතිශයින්ම වැදගත්. ඉතිහාස කතාකරුගේ කතාවන්ට අනුගත වූවොත් අවුරුවිට එහෙමත් නැත්නම් රන්පත්විලින් තමයි ස්වර්ණමාලී මහා සෑයට අවශ්‍ය රත්රන් ලබාගෙන තිබෙන්නේ. රත්රන් බිජු පැළවුණා කියන කතාව අතිශයෝක්තියක් වුණත් රත්රන්වලට සමාන ලෝහ වර්ගයක් මේ පොළොවෙන් මතුවෙන්න ඇති. විහාරමහාදේවිය නවාතැන් ගත්ත ස්ථානය සැලකෙන්නේ ඒ ආකාරයට රන්පත්ඉරු මතුවූ ස්ථානයක් විදියට. මේ භූමිය පුරා පුරාවිද්‍යාත්මක අගයක් තිබෙන නටබුන් විශාල වශයෙන් පවතිනවා. ඒ අතරින් විහාරමහාදේවිය සැතපුණු ගල්ඇඳ, ඔලිඳ පුවරුව වැදගත්. මේ ස්ථානයේ තිබුණු ගොඩක් සාධක නිදන් හොරුන් වනසලා දාලා. යම් ප්‍රමාණයකින් හරි මෙහෙම ඉතිහාසයක්වත් දැක ගැනීමට තිබෙන්නේ වන අලින්ට පින්සිදු වන්න. රන්පත්විලින් මතුවුණු රත්රන් ඉරු ගැල්වලින් අරගෙන ගිහින් බාලා තියෙන්නේ රඹෑවේදී. රඹෑව කියන්නේ රන් බෑ බිමට. කනදරාව වැව වාන අසලින් වැටිල තියෙන පාරේ තමයි ඒ කාලේ ගැල් කරත්ත ගමන් කරලා තියෙන්නේ. රන්පත්විල විහාරස්ථානය හඳුන්වන්නෙත් ශ්‍රී ගාමිණී රජමහා විහාරය ලෙස. රන්පත්විල වැවට කුඩා වැව් 18කින් වතුර ලැබෙනවා. රන්පත්විල වාන් දාද්දී මහකනදරාව වැවත් වාන් දානවා. මොකද රන්පත්විල වැවෙන් තමයි කනදරාව වැවට වතුර ඇදෙන්නේ. කහටගස්දිගිලිය, හොරොව්පොතාන ප්‍රදේශවල තියෙන සියලුම වැව්වලින් රන්පත්විල වැවට වතුර ලැබෙනවා. වැවට අදාළ චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරද්දී අදටත් වැව් කන්ද උඩ විශාල ගිනිහුළක් ගමන් කරනවා.මහාවංසයේ 54 වැනි පරිච්ඡේදයේ සඳහන් ආකාරයට විහාරමහා දේවිය තමයි මේ ප්‍රදේශය පාලනය කරලා තියෙන්නේ. විහාරමහා දේවියගේ පාලන සමය පිළිබඳ ලියැවුණු සෙල්ලිපි කීපයක්ම පන්සල් වත්තේ සහ විහාරමහාදේවියගේ මාලිගා සංකීර්ණය තිබුණු ස්ථානයේ අව්වට වැස්සට ඔරොත්තු දෙමින් අදටත් පවතිනවා. නමුත් ඒවා පිළිබඳ ඉතිහාසමය පරීක්ෂණයක් තවමත් සිදුවෙලා නැහැ.” සහකාර විදුහල්පතිනි හේමාවතී මහත්මිය සමඟ යමින් එලෙස අදහස් ඉදිරිපත් කළේ එස්. ආරියදාස මහතා. අතීත කතා එලෙස වන විට වර්තමානයේ විහාරමහාදේවිය සමඟ පවතින කතාද අතීතයෙන් ගලවා ගත් අක්මුල් නොමැති කතා නම් නොවේ. “විහාරමහා දේවියගේ ආත්මය මේ ප්‍රදේශයේ සැරිසරනවා කියලයි පැරැන්නෝ සඳහන් කරන්නේ. ඒ පිළිබඳ සාක්ෂි සටහන් බොහෝමයි. අපි පුංචි කාලේ ගොම්මන් වෙලාවට වැව් පිටිය පැත්ත පළාතේ යන්නේ නැහැ. ඒක අපේ අම්මලා තාත්තලාටත් තිබුණු තහංචියක්ලු. එහෙම යන අය අසනීප වෙනව කියල තමයි ඒ කාලේ ඉඳලම කියන්නේ. මට මතකයි මීට අවුරුදු 20කට 30කට පෙරාතුව විහාරමහා දේවිය සැතපුණු ගල් ඇඳේ හාන්සි වෙලා ගමන් විඩාව නිවාගත්ත සහෝදරයෝ දෙන්නෙකුට උමතු රෝගයක් වැලඳුණා. ඒ දෙන්නම මියගියේ ඒ උමතු රෝගයෙන්. වෑකන්ද දිග විශාල ගිනිහුළක් ගමන් කරන කතාවක් මම කිව්ව නේද? ඒ ගිනිහුළ රන්පත්විල වැවේ ඉඳලා බෙහෙත්කෑව වැව දක්වා ගමන් කරන අයුරු දැක්ක විශාල පිරිසක් මෙහි සිටිනවා. රජමහා විහාරය ගාවින් වැටිල තියෙන පිටවානේ කාන්තාවන්ට නාන එක තහංචියි. කාන්තාවෝ එතැනින් නෑවොත් ඒ කාන්තාවන්ගේ සිහිය විකල් වෙනව කියලයි පැරැන්නෝ කියන්නේ. විශේෂයෙන්ම එතැනින් නෑවොත් ඒ අයට තමන්ගේ නිවෙස් කරා යන්නත් ලැබෙන්නේ නැහැ කියලා විශ්වාසයක් තියෙනවා.

මේවා විශ්වාස පමණක්ම නොවෙයි, අපි ඇස් දෙකෙන් දැකපු සත්‍ය කතා. කාලෙකට ඉස්සෙල්ලා මේ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් නීතිය අතට අරගෙන විහාරමහාදේවිය සැතපුණු ගල් ඇඳ පාමුල නිදන් හොයන්න උත්සාහ කරල තියෙනවා. පොලිස් නිලධාරියෝ කීප දෙනෙක් සහ රාජකාරි ගිනි අවි එක්ක තමයි ඒ අය ඉඳලා තියෙන්නේ. ගම්මු කියන විදියට එක පාරටම ඒ උසස් නිලධාරියව විහාරමහා දේවියගේ මාලිගා භූමියේ ඉඳලා වැව පැත්තට විසික්ක කරල දාල තියෙනවා. නිදන් ගන්න සහායට ආව කපු මහත්තයත් අද වෙනකම් ආගිය අතක් නැහැ. නමුත් ඊට පසුව එම ස්ථානයේම අඩි 20ක 30ක වළක් හාරලා නිදන් හොයන්න උත්සාහ අරගෙන තියෙනවා. මෙන්න මේ වගේ අද්භූත දේවල් ගොඩක් රන්පත්විල විහාරමහා දේවියගේ මාලිගා සංකීර්ණය තිබ්බ භූමියේ සිදුවෙනවා. වන අලින් කොච්චට ගැවසුණත් විහාරමහා දේවියගේ ගල් ඇඳටවත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන ගල් කණුවකටවත් ඒ අයගෙන් හානියක් නැහැ. අපි හොඳ චේතනාවෙන් මාලිගා භූමිය නරඹලා එනවා කියලා යන්න පිටත් වුණොත් මංමුළා නොවී අනිවාර්යයෙන්ම මාලිගා භූමිය දැකබලාගන්න හැකියාව ලැබෙනවා. නමුත් නොහොඳ චේතනාවකින් පැමිණියොත් මහ කැලේ මාලිගා භූමිය ගිලගත්තා වගේ වෙනවා. මේ රන්පත්විල ගමෙත් ගොඩ දෙනෙක් මේ මාලිගා භූමිය තාම හරියට දැකලා නැහැ. අලුත් පරම්පරාවෙ නම් බහුතරයක් දරුවෝ මෙතෙන්ට ඇවිල්ලවත් නැතුව ඇති. ඒ කාලේ අපේ අම්මලා තාත්තලා කියන්නේ මාලිගා භූමිය බලා කියා ගන්නත් හොඳ චේතනාවක් එක්ක පිනකුත් තියෙන්න වුවමනායි කියලා. මීට අවුරුදු ගණනාවකට කලින් මේ මාලිගා භූමිය අවට හැමතැනම එක එක සලකුණු සටහන් කරල තිබ්බා. මිනිස්සු හිතුවේ ඒ සලකුණුවලින් කියැවෙන්නේ නිදන් පිළිබඳ කතාවක්ය කියලා. ඒ නිසා ඉතිහාසය සොයාගෙන යන ගමනට සිදුවූ හානිය විශාලයි. මිනිස්සු නිරපරාදේ ඒ සලකුණු හොය හොයා ඒවා විනාශ කළා රන්පත්විල වැව මගේ ජීවිත කාලය තුළ හිඳෙනවා දැකලා නැහැ. ඒත් මේ පාර වැව පතුලටම හිඳුණා. මිනිස්සු අධර්මිෂ්ඨ වෙන්න වෙන්න සොබාදහම ඒ අයට දඬුවම් කරනවා කියන එකට ඒක කදිම උදාහරණයක්. අපේ අත්තප්පලාගේ කාලේ විහාරමහා දේවිය වෙනුවෙන් චාරිත්‍ර කීපයක් මේ වෑකන්දේ සිදුකරලා තියෙනවා නමුත් දැන් ඒවා සිදුවෙන්නේ නැහැ. කොහොම වුණත් සිදුවිය යුතු නිවැරදි දෙය තමයි මේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන භූමිය සංරක්ෂණය කිරීම. නැත්නම් තව ටික කාලයක් තුළදී මෙම භූමිය සම්පූර්ණයෙන්ම විනාශයට පත්වේවි. දැනට වුණත් යම් පමණකින් හෝ මෙම භූමිය මේ ආකාරයට පවතින්නේ විහාරමහාදේවිය සමඟ ඇති බලවේග පිළිබඳ කතා ප්‍රවෘත්තීන් සහ අත්දැකීම් නිසා. කතාව පින්තූර ප්‍රභාත් අත්තනායක