October 3, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

කොටන් බටන් කනට හානි කරනවා

හොඳින් කන් ඇසෙන ඔබගේ කනක ඇසීම අඩු වූවොත් එසේත් නැතිනම් කනක ඇසීම සම්පූර්ණයෙන්ම නෑසී ගියහොත් ඇතිවිය හැකි තත්ත්වය ඔබට සිතාගත හැකි ද? එහිදී ඔබ දැඩි අපහසුතාවකට පත්වනු නොඅනුමානය. ඒ; අපගේ දෙකන් හොඳින් ඇසීම එදිනෙදා වැඩ කටයුතු කරගෙන යාමට අපට ඉතාම අත්‍යවශ්‍ය හෙයිනි.හොඳින් කන් ඇසෙන අයකුගේ කන් ඇසීම දුර්වල වීමට හෝ කන් නෑසී යාමට බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ කනට සිදුවන හදිසි අනතුරුය. හදිසි අනතුරු නිසා කන් ඇසීම අහිමි වූ අය සමාජයේ බොහෝය. එබැවින් හදිසි අනතුරුවලින් දෙකන් ආරක්ෂා කරගැනීම ඉතාම වැදගත්ය. දිනකට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කරනු ලබන රෝගීන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ජාතික රෝහලේ උගුර කන නාසය අංශය වෙත ද යොමු කෙරේ.රිය අනතුරකදී මෙන්ම වෙනත් හදිසි අනතුරකදී හිස් කබලට හානි වූ විට හිස් කබලේ ශංඛක අස්ථි භග්ත වී එම අස්ථිය තුළ පිහිටා ඇති අභ්‍යන්තර කනට හානි සිදුවීමට ඉඩ ඇත. එහිදී කන නෑසී යාමට පුළුවන. එවැනි තත්ත්වයකට පත්වූ රෝගීන් රෝහල වෙත පැමිණෙන්නේ කන තුළින් රුධිරය ගැලීමක් ද සමඟය.කිසියම් අනතුරකදී අභ්‍යන්තර කනට හානි සිදුවූ විට කන් ඇසීම අඩුවීම මෙන්ම කැරකිල්ල ද ඇතිවේ. සිහි මද ගතියක් ද ඇතිවිය හැකිය. එසේම හදිසි අනතුරකදී කර්ණ ස්නායුව අක්‍රිය වී කන් ඇසීම සම්පූර්ණයෙන්ම නැතිවීමට ද ඉඩ ඇත.හත්වැනි කපාල ස්නායුව යනු මුහුණේ මාංශ පේශීන් හා සම්බන්ධව පවතින ස්නායුවකි. එම ස්නායුව මොළය හා සම්බන්ධ වන්නේ කන හරහා ගමන් කිරීමෙනි. කනේ අස්ථියට සිදුවන අනතුරකදී එම හත්වැනි කපාල ස්නායුවට ද අනතුරක් සිදුවීමට ඉඩ ඇත. එවැනි රෝගියකුගේ මූලිකම ලක්ෂණය වන්නේ කට පැත්තකට යාමය. එය පහසුවෙන්ම හඳුනාගත හැකිය.හදිසි අනතුරට ලක්වූ පුද්ගලයකු වෛද්‍යවරයකු වෙත යොමු කරන විට සිහිසුන්ව සිටීනම්, කනට සිදුව ඇති අනතුරු පිළිබඳව දැනගන්නට ලැබෙන්නේ පසුවය. එය කනේ ආබාධ සඳහා ප්‍රතිකාර කිරීමේදී ඇතිවන විශාල ගැටලුවකි. කනට අනතුරක් වූ විගසම කපාල ස්නායුවට හානියක් සිදුවීම නිසා කට පැත්තට ගොස් ඇත්නම් එය සුව වීම ප්‍රමාදය. අනතුර සිදුවී ටික දිනකට පසුව රෝගියාගේ කට පැත්තකට ගියේ නම් එය සුවපත් කර ගැනීම පහසු වනු ඇත. අනතුර සිදුවූ විගසම රෝගියාගේ කට පැත්තට ගොස් ඇත්නම් සැත්කමක් මඟින් එය යථා තත්ත්වයට පත් කළ යුතුය. මෙහිදී වඩාත් වැදගත් වන්නේ රෝගියාගේ සමීපතමයන් හදිසි අනතුරින් ඔහුට සිදුවූ හානිය පිළිබඳව විමසිලිමත්ව සිටීමය.

හදිසි අනතුරකදී අභ්‍යන්තර කනට විශාල හානියක් සිදුවුවහොත් එය යථා තත්ත්වයට පත් කරගැනීම අපහසු විය හැකිය. අභ්‍යන්තර කන තුළ සියුම් ස්නායු ඇත. එම සියුම් ස්නායු වටා තරලයක් ද ඇත. එසේම මොළය වටා මස්තිස්ක සුසුම්නා තරලය නම් තරලයක් ද ඇත. හිසට සහ කනට සිදුවන හදිසි අනතුරකදී එම තරල කාන්දු වීමට ඉඩ ඇත. එසේ වුවහොත් යථා තත්ත්වයට පත්කළ නොහැකි වන සේ කන හානියට පත්වීමට ඉඩ ඇත.හදිසි අනතුරකදී මැද කනට රුධිරය ගැලීීමක් සිදුවුවහොත් එම රුධිරය ශරීරයට උරා ගත් විට කන් ඇසීම නැවත යථා තත්ත්වයට පත් වේ.කනට සිදුවන එවැනි හදිසි අනතුරුවලදී අනතුරේ ස්වභාවය, එම අනතුර නිසා බාහිර සහ අභ්‍යන්තර කනට සිදුවී ඇති හානිය පිළිබඳව වෛද්‍යවරයාට අවබෝධයක් ලබාගැනීමට ඇති හොඳම මාර්ගය වන්නේ රෝගියාගේ කනේ සී. ටී. ස්කෑන් පරීක්ෂණ වාර්තාවක් ලබාගැනීමය. රෝගියාට ප්‍රතිකාර කිරීමේදී මෙම ස්කෑන් පරීක්ෂණ වාර්තාව ඉතා ප්‍රයෝජනවත් වේ. ඒ මැද කනට සහ අභ්‍යන්තර කනට සිදුවන හදිසි අනතුරු පිළිබඳවය.හදිසි අනතුරකදී බාහිර කනට අනතුරක් සිදුවූ විට කන් පෙත්තට හානි සිදුවිය හැකිය. එහිදී කන් පෙත්තට රුධිරය ගැලීමක් සිදුවී පපඩමක ආකාරයෙන් කන් පෙත්ත ඉදිමී ආ හැකිය. එයට ප්‍රතිකාර ලෙස කන් පෙත්තේ ඇති රුධිරය ඉවත්කර කන් පෙත්ත බැන්ඩේජ් පටියකින් ඔතා දින පහක් පමණ තැබිය යුතුය. වැටීමකදී මොට ආයුධයකින් පහරදීමකදී කන් පෙත්තට එවැනි අනතුරක් සිදුවිය හැකිය. මෙම තත්ත්වය ඉතාම පහසුවෙන් සුව කළ හැකි වුවද නිසි අවස්ථාවේදී ප්‍රතිකාර නොලැබුණහොත් කන විකෘති විය හැකිය. එයට හේතු වන්නේ අනතුරට පත් කනේ කාටිලේජයට නිසි පරිදි රුධිරය නොසැපයීම නිසා කාටිලේජය මිය යාමය. බාහිර කනේ ඉදිමුමට හැකි විගස ප්‍රතිකාර කළ යුතු වන්නේ එබැවිනි.වර්තමානයේදී කනට අනතුරු සිදුවන තවත් ප්‍රධාන ක්‍රමයක් වී ඇත්තේ ‘කන පිරිසිදු කිරීමට’ යැයි කියා කන තුළට කොට්න් බට් දැමීමය. කොට්න් බට් එකක් කනට දමාගෙන සිටින විට අතට කිසියම් දෙයක් වැදීමෙන් හෝ කුඩා දරුවකුගේ පහරකින් හෝ කොට්න් බට් එක කන් බෙරයේ වැදී කන් බෙරය බිඳී යා හැකිය. මෙය අද බහුලව දක්නට ලැබෙන හදිසි අනතුරකි. එසේම කොට්න් බට් එකෙහි පුළුන් කොටස ගැලවී කන තුළ සිරවිය හැකිය. එවිට එය එළියට ගැනීම ඉතාම අපහසු කටයුත්තකි.එබැවින් කොට්න් බට් වලින් කන පිරිසිදු නොකළ යුතුය. කොට්න් බට් කන තුළට දමන විට කන තුළ ඇති සියුම් බිත්තිය (සම) සීරීමකට ලක්වේ. සිරීමට ලක්වූ එම ස්ථානවල බැක්ටීරියා දිලීර ආසාදන ඇතිවිය හැකිය. බොහෝ දෙනෙක් ස්නානයෙන් පසුව කන පිරිසිදු කිරීමට පුරුදු වී ඇත. කන පිරිසිදු කිරීම අවශ්‍ය නැත. මෙම පිරිසිදු කිරීම නිසා සිදුවන්නේ කන අභ්‍යන්තර සම මත බැක්ටීරියා, වෛරස, දිලීර ආසාදනය වීමය. පිරිසුදු නොකර සිටින තාක් කල් කන යනු විවිධ දිලීරවලට ප්‍රතිරෝධයක් දක්වන ස්ථානයකි.කන තුළ ඇති කලාඳුරු ඉවත් කිරීමට යැයි කියා විවිධ දේ කන තුළට දැමීමෙන් වැළකී සිටිය යුතුය. කන තුළ කලාඳුරු නම් ඉටි විශේෂය ඇතිවන්නේ කනේම ආරක්ෂාවටය. කන තුළ කලාඳුරු වැඩි වූ විට ඉබේම ඒවා එළියට පැමිණේ. එහෙත් ඇතැමුන්ගේ කන තුළ කලාඳුරු වර්ධනය වී ඒවා කන තුළම ගන වේ. එවිට ද කන් ඇසීමේ අඩුවක් සිදු විය හැකිය. එවිට කළ යුත්තේ උගුර කන නාසය පිළිබඳ වෛද්‍යවරයකු හමුවීමය. එවිට වෛද්‍යවරයා විසින් ඉතාම පහසුවෙන් සහ ආරක්ෂාකාරීව එම කලාඳුරු ඉවත් කරනු ඇත.

කනට වතුර ගිය අවස්ථාවක පාන් තිරයක් වැනි පිරිසිදු රෙදිකඩක් දමා සියුම් ලෙස ජලය ඉවත් කළ හැකිය. එය ද අනුමත කළ නොහැක්කකි.කනට සිදුවන තවත් අනතුරක් වන්නේ (විශේෂයෙන් කුඩා දරුවන්ගේ) බොත්තම් ආයා කටු වැනි විවිධ ද්‍රව්‍යයන් කන තුළට දමා ගැනීමය. එවැනි ද්‍රව්‍යයක් කන තුළට දමා ගත් විට මවුපියන් විසින් එය ඉවත් කිරීමට උත්සාහ ගැනීම සුදුසු නොවේ. එවැනි ද්‍රව්‍යයක් කනෙන් ඉවත් කිරීමට පළපුරුද්ද, හොඳ ආලෝකයක් මෙන්ම, නිවැරැදි උපකරණ ද අවශ්‍ය වේ. ඒ සඳහා වෛද්‍යවරයකු වෙත යා යුතුමය.නිවසේදී කන තුළ ඇති ද්‍රව්‍ය පිටතට ගැනීමට උත්සාහ කිරීමෙන් සිදුවන්නේ කනට දැඩි ලෙස හානි සිදුවීම විය හැකිය. එබැවින් දරුවකු කනට යමක් දමාගත් විට හෝ වැඩිහිටියකුගේ වුවද කනට යමක් ගිය විට වඩාත්ම සුදුසු වන්නේ උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු හමුවට යාමය.කන තුළට විවිධ කෘමි සතුන් රිංගීම නිසා ද කනට අනතුරු සිදු වේ. මදුරුවකු කූඹියෙකු වැනි කුඩා සතකු කනට ගිය විට ජලය ස්වල්පයක් කනට දමා ස්වල්ප වේලාවකින් එම ජලය නැවත එළියට ගැනීම සුදුසුය. එහෙත් තරමක ලොකු සතකු (පුංචි කුරුමිණියෙක්, කැරපොතු පැටියෙක් වැනි) සතකු කන තුළට ගිය විට නිවසේ තිබෙන පිරිසුදු පොල් තෙල් ස්වල්පයක් කන තුළට දමා රෝහලක් වෙත හැකි විගස දරුවා රැගෙන යා යුතු ය. ඒ; මරණයට පත්වූ සතා කනෙන් ඉවත් කිරීම වෛද්‍යවරු විසින් කළ යුතු නිසාය.කිනිතුල්ලකු කන තුළට යාම ඉතා අවදානම් සහගත තත්ත්වයකි. කන තුළට ගිය කිනිතුල්ලකු කන අභ්‍යන්තරය සපා කෑවහොත් කනේ ස්නායු අක්‍රිය වීමට ද ඉඩ ඇත. හත්වැනි කපාල ස්නායුව අක්‍රිය කිරීමේ හැකියාව ද කිනිතුල්ලා සතු විෂට ඇත. කිනිතුල්ලා ද කනෙන් ඉවත් කළ යුතු වන්නේ කන තුළම මරණයට පත් කිරීමෙන් පසුවය. එසේ ඉවත් කිරීමේදී කිනිතුල්ලාගේ මුඛ කොටස් ආදිය කන තුළ ඉතිරි වුවහොත් එය ඉතා ගැටලු සහගත තත්ත්වයකි. ස්නායු ආබාධ, නිතර කන අභ්‍යන්තරයේ කැසිල්ලක් ඇතිවීම, දිගින් දිගටම කනෙන් සැරව පිටවීම එහිදී සිදු විය හැකිය.එබැවින් කිනිතුල්ලන්ගෙන් කනට සිදුවන හානි අවම කරගැනීම ඉතාම වැදගත්ය. විශේෂයෙන්ම කුඩා දරුවන් සුරතල් සතුන් නිතර අතගාන්නේ නම්, එම සතුන්ගේ ශරීර තුළ කිනිතුල්ලන් නැති බව තහවුරු කරගත යුතුය. තේ වගාවන් ආශි‍්‍රතව සේවය කරන පුද්ගලයන් හට කිනිතුල්ලන් කන තුළට රිංගීම නිසා නිතර නිතර ගැටලු ඇතිවේ.

කනට පහරක් වැදීම නිසා ද බොහෝ දෙනෙකුට අනතුරු සිදුවේ. කිසිදු අවස්ථාවක කිසි විටෙකත් කනට පහරක් නොගැසිය යුතුය. කනට පහරක් වැදුණු විට කන තුළ ඇති වාතයේ පීඩනය වැඩි වී කන් බෙරය පැළීමට ඉඩ ඇත. ඒ සඳහා දරුණු පහරක් වැදිය යුතුම නැත. මදුරුවකු මැරීමට ගසනු ලබන සුළු පහරකින් වුවද කන් බෙරයට හානි සිදුවිය හැකිය.කනට පහරක් වැදී කන් බෙරය පුපුරා ගිය විට මාස 2 ක් පමණ ගත වන විට එය බොහෝ දුරට සුව අතට හැරේ. වදින පහර සැර නම් අභ්‍යන්තර කනට ද එම පහරේ බලපෑම ඇති විය හැකිය. කන් බෙරය පැළී ඇත්නම් කිසි විටෙකත් කනට ඖෂධ නොදැමිය යුතුය. අවශ්‍ය වනුයේ කන වියළිව තබා ගැනීමය. එබැවින් කන් බෙරය පැළීම වැනි අනතුරක් සිදුවූ විට කන අභ්‍යන්තරයට වතුර නොයන සේ ආරක්ෂා කරගැනීම ඉතා වැදගත්ය. කනට පහරක් වැදුණු විට ඇසීමේ දෝෂයක් ඇතැයි හැඟේනම් උගුර කන නාසය පිළිබඳ වෛද්‍යවරයකු වෙත යාම වැදගත්ය.අකුණු සැර වැදීම, රතිඤ්ඤා පිපිරීම වැනි අධික ශබ්ද නිසා ද කනට අනතුරු සිදු වේ. මෙහිදී බාහිර කනට මෙන්ම අභ්‍යන්තර කනට ද හානි සිදුවිය හැකිය. වඩාත් සුදුසු වන්නේ එවැනි ගිනිකෙළි භාවිත කරන ස්ථානවල රැඳී නොසිටීමය. අකුණු සැර වදින අවස්ථාවල දුරකථන භාවිතයෙන් වැළකී සිටිය යුතුය. (විශේෂයෙන්ම රැහැන් ගත දුරකථන) ඒ; දුරකථන ඔස්සේ ක්ෂණිකව එන අධික ශබ්දය සහ අධික විදුලිය කනට විශාල හානියක් සිදු කිරීමට සමත් බැවිනි. ගැඹුරු ජලයේ කිමිදෙන විට ආරක්ෂිත කන් ආවරණ නොපැළඳුවහොත් කනට අනතුරක් සිදු විය හැකිය.සෙම්ප්‍රතිශ්‍යාව සහිතව ගුවන් ගමන්වල යෙදීම ද කනට අනතුරු සිදුවිය හැකි තවත් ක්‍රමයකි. ඒ; සෙම්ප්‍රතිශ්‍යාව නිසා කන තුළ වායු පීඩනය වැඩි වීමක් සිදුවීමය. එබැවින් ගුවන් ගමනක යෙදීමට පෙර තමන්ට සෙම්ප්‍රතිශ්‍යාව ඇත්නම් වෛද්‍යවරයකු හමු වී උපදෙස් ලබා ගැනීම සුදුසුය. සෙම්ප්‍රතිශ්‍යාව සහිතව ගුවන් ගමන්වල යෙදීම කනෙන් රුධිරය ගැලීමට මෙන්ම කන් ඇසීම අඩුවීමට ද හේතු විය හැකිය.කනට සිදුවන ඇතැම් අනතුරු යථා තත්ත්වයට පත්කළ හැකිය. ඇතැම් ඒවා යථා තත්ත්වයට පත් කළ නොහැකිය. එබැවින් වඩාත් සුදුසු වන්නේ කන අනතුරකට ලක්වීමට ඉඩ නොදී ආරක්ෂා කරගැනීමය.කොළඹ ජාතික රෝහලේ උගුර කන නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය