September 24, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

සුළං බලෙන් යකඩ හදපු ලෝකෙ එකම රට ශ්‍රී ලංකාවයි

අතීතයේ දවසක පේරාදෙණි සරසවියේදී අප හට උගැන්වූ චන්දිම අඹන්වල නම් වූ ගුරුවරයා කියූ යමක් විය. “ඔයාලා දන්නවද ලංකාවේ කැණීම්වල හොඳම පාංශු ස්තර විශ්ලේෂකයා කවුද කියලා. එයාට ලෝක පුරාවිද්‍යාඥයන්ගේ සභාවකදී සහතිකයක් පවා ලැබිල තියෙනවා. අනුරාධපුරේ ගිය වෙලාවක මුණගැහෙන්න.”ඒ කතාව අපි දහතුන් දෙනාටම මතක තිබූ කරුණක් විය. එනිසාම අපි අනුරාධපුර ඇතුළු නුවර කැණීම් නැරැඹීමට ගිය විට ඒ කැණීම් වළ ඇතුළත වූ නිරහංකාරී මිනිසා හමුවීමු. බොහෝ ළෙන්ගතුව ඔහු අපව පිළිගෙන අපට ඇතුළු නුවර අතීත කතාව කියා දෙන්නට වූයේය. ඒ මීට අවුරුදු හතරකට පෙරය. පසුගියදා යළිත් ඒ මතකය අලුත් වූයේය. ඒ පොළොන්නරුව දෙමළ මහා සෑය පිළිබඳ කැණීම් බිමට ගිය විටය. ඔහු එදා සේම ළෙන්ගතුකමින් කැණීම් සියලු තොරතුරු කියුවේය. ඔහුගේ දැනුමේ ප්‍රමාණය කොපමණ විශාලදැයි, ගැඹුරුදැයි සිතුණු මා හට ඔහු පිළිබඳ ලියා තබන්නට සිතුණේ මේ මහා ජාතික වස්තුවක් යැයි සිතිවිල්ලක් වූ නිසාය. පුරාවිද්‍යාඥයන්ගේ ආදරණීය මෙල් අයියා හෙවත් අපේ සගයන්ගේ මෙල් අන්කල් සමඟ පරාක්‍රම සමුද්‍රයේ එක් ඉවුරක ඉඳගත් මම ඔහුගේ වංහුං සොයන්නට වූයෙමි. බැසයන රතු පැහැති හිරුගේ රශ්මියට ළෙන්ගතුව හාදු පුදනා සැන්දෑ සුළං අපේ කතාවට උදවු දුන්නේය.අභිමානවත් අනුරාධපුර අහස යට ඉපදුණු ලක්‍ෂපති විදානලාගේ ඇල්ෆර්ඩ් ද මෙල්ගේ පියා වූවේ එල්.වී. ලයනල්ද සිල්වාය. මව ලිලියන් ප්‍රේමවතී වීරසූරිය වූවාය. අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඔහු 1971 සැප්තැම්බර් 26 වැනිදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බැඳෙන්නේ අනියම් කම්කරුවකු ලෙසය. “මම මුලින්ම පුරාවිද්‍යා කටයුත්තකට සහභාගි වුණේ තිරුකේදීශ්වරම් පුරාවිද්‍යා භූමියේ. ඊට පස්සේ මාතොට කැණීමට. එහේ කැණීම් භාරව හිටියේ ආචාර්ය රාජා ද සිල්වා මහත්තයයි, සරත් වත්තල මහත්තයයි. 1972 දී මම ස්ථිර සේවකයකු වුණා. 1975 අවුරුද්දෙදි මම මාතොට ඉඳල අනුරාධපුරයට ආවා. ඊට පස්සෙ එතැන ඉඳලා හැම අවුරුද්දෙම මාස තුනක් ගාණේ අවුරුදු තුනක් සරත් වත්තල මහත්තය එක්ක කුදිරමලේ කැණීමට ගියා. විල්පත්තුවෙ ඉඳන් හැතැප්ම 45ක් යන්න ඕන කුදිරමලේට. අපි බිව්වෙ මුහුදු වතුර. රෙදි හේදුවෙ නැහැ.

1975දී වවුනියාවේ සමලංකුලම, නෙලුම්කුලම කියන දාගැබ් දෙකේ කැණීමට ගියා. ඒ වෙද්දි මම කැණීම් ගැන ඒ තරම් දැනගෙන හිටියෙ නෑ. ඊට පස්සෙ 1979දී ආචාර්ය ශිරාන් දැරණියගල මහත්තයා හමුවුණා. කිතුල්ගල බෙලිලෙනෙදී මම මුලින්ම ප්‍රාග් ඓතිහාසික කැණීමකට සහභාගි වුණා. ඒ වගේම මේක ලංකාවේ මුල්ම විද්‍යාත්මක කැණීම. ආචාර්ය ශිරාන් දැරණියගල මහත්තයයි, ඩබ්.ජී. විජේපාල මහත්තයයි තමයි ඒ කැණීම කළේ. ඒ දෙන්නා මගේ මුල්ම ගුරුවරුන්. ඊට පස්සේ අවුරුද්දෙ බට‍ෙදාඹලෙන කැණීම් කරන්න ගියා. ඒ කැණීම් කළේ බොහෝම පරිස්සමින්. මේස හැන්දෙන් තමයි පස් අයින් කළේ. දවසටම පස් බාල්දියක් විතර තමයි අයින් කළේ. මෙතැනදි ඇටසැකිලි පහක් ලැබුණා.මේ කැණීම් කරද්දි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත්, ආචාර්ය නිමල් ද සිල්වා, පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඩී.කේ. ජයරත්න, ආචාර්ය පියතිස්ස සේනානායක, තම්පො වගේ අය ශිෂ්‍යයො විදියට මේ කැණීමට සහභාගි වුණා. කෑගල්ල අළුලෙන වගේම 1986 පාහියන් ලෙන, කුරුවිට බටතොට ලෙන, ‍ෙදාරවක, ඔවාගිරි, දාගැබකන්ද ලෙන, චූලාගෙය දාගැබ, දැලිවල කොටවෙහෙර, තිස්සමහාරාම සඳගිරිසෑය, දීඝවාපිය, දෙමළ මහා සෑය වගේම හැම ප්‍රාග් ඓතිහාසික ස්ථානයකම කැණීමකට මම ගියා.” අතීතයේ අහුමුලු අතර ඇවිද ගිය ඔහුගේ ජීවිතයේ උත්කර්ෂවත්ම යුගය එළැඹියේ ඊට පසුවය. එතෙක් ඔහු තුළ වූ අපූර්වතම කුසලතාව එළිදකින්නට දෛවයේ සුබ නැකැත් යෙදී තිබුණේද එහිදීය. ලංකාවේ සාඩම්බර අතීතයට මෙන්ම ඇල්ෆර්ඩ් ද මැල්ගේ දිවියේ සදානුස්මරණීය වූ ස්ථානය වූයේද එයයි. 1983-1988 දක්වා කාලය තුළ අනුරාධපුර ඇතුළුනුවර කැණීම් ඇල්ෆර්ඩ් ද මෙල් නම් වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කම්කරුවාගේ ජයභූමිය විය.”ඇතුළුනුවර කරපු කැණීමෙන් ලංකාවේ ඓතිහාසික යුගය පිළිබඳ බොහෝ කරුණු තහවුරු කරගත්තා. මේකෙන් මහා වංසයෙ තොරතුරු බොහොමයක් සනාථ කරන්න පුළුවන් වුණා. ඒ වගේම ඒ තොරතුරු අභිභවා තව තවත් ඓතිහාසික කරුණු තහවුරු කර ගන්නත් පුළුවන් වුණා. මුල්ම ආර්ය ශිෂ්ටාචාරය ක්‍රි.පූ. 9දී ආරම්භ වුණා කියල කාලනිර්ණය කළා. මේ කැණීම ඇතුළෙන් ලංකාවේ අක්‍ෂර කලාව ක්‍රි.පූ. තුනේදි ආවා කියල මහාවංසය කිව්වට ක්‍රි.පූ. 550-450 අතර යුගයේදී ලංකාවේ අක්‍ෂර භාවිත කරපු බවට සාධක සොයාගත්තා. ඒකට ලැබුණු සාක්‍ෂිය තමයි ඇතුළුනුවර මහා පාලි දාන ශාලාවේ කැණීමෙන් හොයාගත්ත එහි 75 වැනි පස් තට්ටුවෙන් අනුරධ කියල ලියපු වළං කටුව හමුවීම. මේක ලංකාවේ පුරාවිද්‍යාඥයන්, ඉතිහාසඥයන් අතර ලොකු ගැටුමක් ඇති කළා. ඒ නිසා මේ කැණීම භාරව හිටපු ආචාර්ය ශිරාන් දැරණියගල මහත්තයා කිව්වා මේ තත්ත්වය සමනය කරන්න ජාත්‍යන්තර කැණීමක් කරන්න ඕන කියලා.

එහෙම කියල දැරණියගල මහත්තයා ජාත්‍යන්තර කැණීමකට ආරාධනා කළා. කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය රේමන් ඔල්චිං මහත්තයා ලංකාවට ආවා. එතුමා එක්ක මහාචාර්ය රොබින් කනින්හැම් මහත්තයත් ආවා. එතකොට එතුමා ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්. ඊට පස්සේ එයාලා මීටර් 10×10 කැණීමක් කළා. අනුරාධපුර සල්ගහවත්ත අංක 1 කැණීම්වලට යාබදව. අවුරුද්දකට මාස 4 බැගින් අවුරුදු 4ක් මේ කැණීම කළා. මේ කැණීමට අද මහාචාර්ය අනුර මනතුංග, වර්තමාන පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, රුක්ෂාන් ජයවර්ධන, අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්‍ෂු විශ්වවිද්‍යාලයේ පුස්තකාලයාධිපති තිස්ස බණ්ඩාර මහත්තයා ඒ කාලේ ශිෂ්‍යයන් විදියට මේ කැණීමට සහභාගි වුණා. කොහොමහරි ඒ කැණීමෙනුත් ඔප්පු වුණා ලංකාවට ක්‍රි.පූ. 9 වෙනකොට ආර්ය ශිෂ්ටාචාරයක් ඇති වෙලා තිබුණා කියන එකයි අක්‍ෂර කලාව ක්‍රි.පූ. 550-450ට යනව කියන එකයි. මේ කැණීමෙන් තමයි ආර්ය ශිෂ්ටාචාරය පිළිබඳ සාක්‍ෂිය වුණු අශ්ව දත් ලැබුණේ. ඒ වගේම යකඩ භාවිතය, නඟුල භාවිත කරල වී වගාව කිරීම ඔප්පු වුණා. කළු රතු මැටිබඳුන් හමුවුණා. මේ කැණීමෙන් තමයි රොබින් කනින්හැම් ආචාර්ය උපාධිය සම්පූර්ණ කරන්නේ. රොබින් කනින්හැම් දන්නව නේද? මේ ළඟදිත් නේපාලෙ කැණීම කළේ. සිදුහත් කුමාරය ඉපදුණු තැන කැණීම් කළේ.ඒ වගේම මට හමුවුණා ක්‍රි.පූ. තුනට අයිති පස් ස්තරයකින් ව්ඕර්ථීඑ කියන්නේ උත්තර උද්දීප්ත කාලවර්ණ මැටි බඳුන් කැබැල්ලක්. දැරණියගල මහත්තය මේක බලල කිව්ව “මෙල් හරියටම මේක ගැන අපිට කියන්න බෑ. මම ඉන්දියාවේ පුරාවිද්‍යා කොමසාරිස්ව ගෙන්නල මේක තහවුරු කරන්නම් කියල. මේ වර්ගෙ මැටිබඳුන් බුදුහාමුදුරුවො ජීවත් වෙච්ච කාලෙ උසස් පුද්ගලයන් පාවිච්චි කරපුවා. ඒ නිසා ඉන්දියා පුරාවිද්‍යා කොමසාරිස් ලංකාවට ආවා. බී.කේ. තාපර් මහත්තයා ඇවිත් වළං කටුව බැලුවා. අපේ අදහස සාර්ථක වුණා. ලංකාවේ ඉතිහාසය ක්‍රි.පූ. 6ට ගිය මේ වළං කටු කාබන් 14 කාලනිර්ණයටත් යැව්වා. මම හුඟක් සන්තෝෂ වෙනවා. ලංකාවේ ප්‍රාග් ඓතිහාසික, පූර්ව ඓතිහාසික, මූල ඓතිහාසික, ඓතිහාසික කියන හැම කැණීමකට මම සහභාගි වෙලා තියෙනවා.අතීත පස් තට්ටුවට ආසක්ත වූ මෙල් නමැති පුරාවිද්‍යා කම්කරුවා තම ප්‍රේමයෙන් නෙළුෑ පල බොහෝමය. ඒවා කොතෙක්ද යත් දෙස් විදෙස් ආචාර්ය, මහාචාර්යවරුන්ට තම ආචාර්ය, මහාචාර්ය පට්ටම් ලබාගන්නට ඇවැසි උපරිම සේවය සැලැසුවේය. ආචාර්ය ශිරාන් දැරණියගල, ආචාර්ය නිමල් පෙරේරා, ආචාර්ය ඩබ්.ඩී. විජේපාල, මහාචාර්ය කනින්හැම් ආචාර්ය ජිල් ජුලෙෆ් මේ සියලු ආචාර්ය පට්ටම් උදෙසා බර දැරූ පාංශු විශ්ලේෂකයා වූයේ මෙල්ය. මට මතක හිටින විශේෂ දෙයක් තමයි ජර්මන් ජාතික ජිල් ජුලෙෆ් ලංකාවට ආවේ ලංකාවේ යකඩ නිෂ්පාදනය ගැන දැනගන්න. එතැනදි ප්‍රධානම දේ තමයි ලෝකේ සුළං බලෙන් යකඩ නිෂ්පාදනය කරපු එකම රට ලංකාව වීම. ලංකාවේ මිනිස්සු මැයි, ජුනි, ජූලි මාසෙට එන හුළං බලෙන් යපස් උණු කළා. මේ සිද්ධිය හොඳටම ඔප්පු කළා අපි. සමනලවැව තියෙන යකඩ උඳුන් ක්‍රියාත්මක කළා. මේක ගැන දැනගන්න මුළු ලෝකෙම ආවා. අපි මුලින් උඳුන් 99ක් කැණීම් කරල හොයාගත්ත. ඊට පස්සෙ ඒවා ක්‍රියාත්මක කරල පෙන්නුවා. ඒකෙන් යකඩ අරන් උග්ගල් අලුත්නුවර දේවාලෙට බාරෙත් ඔප්පු කළා.

ඔහුගේ දක්‍ෂකම කොතෙක්ද යත් ඔහු පාංශු ස්තර අධ්‍යයනයේ අන්වීක්‍ෂයයි. එපමණ සියුම් තැන් ඔහුට හුරුය. ආචාර්ය නිමල් ද සිල්වාගේ ආචාර්ය උපාධිය සඳහා ප්‍රධාන කැණීම් ශීල්පියා වූයේ මෙල්ය. අතීතයේ කුරුවිට බට‍ෙදාඹ ලෙනෙහි කළ කැණීමෙන් තෝරාගත් පස් තට්ටු (ස්තර) අට, නවීන තාක්‍ෂණය භාවිත කරමින් පස් තට්ටු (ස්තර) එකසිය හැටපහකට වෙන් කළේය. ඔහු ආචාර්ය උපාධියකට ඇවැසි දත්ත එක්රැස් කළේ කිසිදු විශ්වවිද්‍යාල ආචාර්යවරයකු හෝ වෙනත් කිසිදු දෙපාර්තමේන්තු නිලධාරියකු නොමැතිවය. සියල්ලට වඩා වැදගත් වන්නේ උපාධිය නොව දක්‍ෂතාව බව ඔහු ඔප්පු කළේය. මෙම ආචාර්ය උපාධිය සඳහා කළ පර්යේෂණයේ සාර්ථකත්වය දුටු ජාත්‍යන්තරය බට‍ෙදාඹ ලෙන ලෝක උරුමයක් බවට පත්කිරීමටද යෝජනා කළේය.1991 වසරේ දිනෙක ලංකාවේ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් වූ ආචාර්ය ශිරාන් දැරණියගල රෝමයේ පැවැති ලෝක පුරාවිද්‍යාඥයන්ගේ සමුළුවට ගියේ මෙරට සිදුකළ කැණීම්හි ප්‍රාග් ඓතිහාසික, පූර්ව ඓතිහාසික, මූල ඓතිහාසික, යුගයන්වල කාබන් 14 කාල නිර්ණ ඉදිරිපත් කිරීමටය. ආචාර්ය ශිරාන් දැරණියගල ලංකාවේ කාල නිර්ණයන් ඉදිරිපත් කරන විට එහි තිබූ යන්ත්‍රවල එම කාල නිර්ණයන්ගේ නිවැරැදිභාවය එහි සටහන් විය. ලෝක පුරාවිද්‍යා සමුළුවේ සියල්ලන්ම පුදුම වූයේ ලංකාවේ කාලනිර්ණයන්ගෙන් සියයට අනූනවයක්ම තිතට හරි ගිය නිසාය. මෙම ඉදිරිපත් කිරීම දුටු කාල නිර්ණයන් පිළිබඳ පුරාවිද්‍යාඥයකු වූ ජෝර්ජ්ලි එල්. ෆොසෙල් ආචාර්ය ශිරාන් දැරණියගලගෙන් විමසුවේ “ඔබේ කාලනිර්ණයන් මේ තරම් සාර්ථක වෙන්නට ඔබ මොන විශ්වවිද්‍යාලයක් එක්කද කටයුතු කරන්නෙ” කියාය. එවිට දැරණියගලයන් ප්‍රකාශ කර සිටියේ කිසිදු විශ්වවිද්‍යාලයක් මෙම කටයුත්තට සම්බන්ධ නැති බවත්, මාගේ ප්‍රධාන කැණීම්කරු ඇල්ෆර්ඩ් ද මෙල්ට මේ පස් ස්තර පිළිබඳ හසළ දැනුමක් ඇති නිසා ඉතා හොඳින් මේ කාලනිර්ණයන් ඔහුගෙන් ලබාගත හැකි බවය. එය ඇසූ පුරාවිද්‍යාඥ ෆොසෙල් ඇල්ෆර්ඩ් ද මෙල්ට දෙන්න යැයි කියා ලිපියක් දුන්නේය.

1991 පෙබරවාරි 19 ඇල්ෆර්ඩ් ද මෙල් මහතා, ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ශ්‍රී මත් මාර්කස් ප්‍රනාන්දු මාවත, කොළඹ 07, ශ්‍රී ලංකාව. හිතවත් මෙල් මහතාණෙනි, මෙතෙක් ලද ප්‍රගතීන් ගැන ඔබට ස්තුතිය පුද කිරීමට මම කැමැත්තෙමි. රේඩියෝ කාබන් සහ තාප සංදීප්තතා කාල නිර්ණය මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික සහ මුල් කාලීන පුරාවිද්‍යා භූමි පිළිබඳ සෙවීම ඉතා සතුටුදායකය. මාගේ ලේඛනවල ඔබේ රටේ වූ කැණීම්වල නියැඳි 150ක් පමණ සටහන්ව තිබේ. දැන් අපි මේවායේ කාලනිර්ණයන් සාධනය කිරීමට සූදානම්ය. මට කැණීම් කලාව ආශ්වාදයක් ගෙනදෙයි. එහිදී සාර්ථකව අඟුරු සාම්පලයක් ලබා ගැනීම කෙතරම් අපහසු දෙයක්දැයි මම දනිමි. සුරක්‍ෂිත තොරතුරු අඩංගුව පවතින මේ සාම්පලයෙන් අප නොමඟ නොයවා නිවැරැදි කාලනිර්ණයන් ලබාදුන් ඔබට ස්තුතියි. මගේ සුබපැතුම්, මීට හිතවත්, ජෝර්ජ් එල්. ෆොසෙල් පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලය

මහා දුක්කම්කටොළු සමඟ අතීතයට පෙම්බැඳි පස් තට්ටුව සමඟ ඔට්ටු වූ මෙල්ට සිදුවූ අසාධාරණයන් පැවැසීමට ඔහු බොහෝ අදිමදි කළේය. ඒ ඔහු හැමදෙනාගේම ළෙන්ගතු මෙල් අයියා හෝ මෙල් අන්කල් වූ නිසාය. එහෙත් මම ඔහුට වූ එක් අසාධාරණයක් ඔහුගේ වටපිටාවේ විසුවන්ගෙන් දැනගත්තෙමි. එය මා ලියා තබන්නේ මිනිසුන්ට සිදුවන අවතක්සේරුකම් කිසිවකින් හෝ ඒ මිනිසාගේ හැකියාවන් යටපත් කර නොහැකි බව දැක්වීමටය. එසේම මහා උගතුන්, විද්වතුන් වීමට උපාධි කඩදහියක්ම ඇවැසි බව කියන මිනිසුන්ට එය එසේ නොවන බව ඒත්තු ගැන්වීම උදෙසාය. වරෙක මෙල් මහතාට ඉන්දියානු සංචාරයක් සඳහා යෑමට අවස්ථාවක් ලැබුණේය. එහෙත් අභාග්‍ය නම් ඔහුට උපාධියක් නැති බව කියා ඔහුගේ නම ප්‍රතික්‍ෂේප වීමය. මෙය මේ රටේ සිදුවූ මුල් හෝ අවසාන අවස්ථාව නොවේ. එහෙත් කවරදාක වුවත් මේවා විලිලැජ්ජා නැති ක්‍රියා බව මෙසේ ලියා තබමි. අනියම් කම්කරුවකු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බැඳුණු ඇල්ෆර්ඩ් ද මෙල් වසර 36ක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට තම දැනුම, හැකියාව, සේවය ලෙස ලබාදුන්නේය. අන්තිමට ඔහු විශ්‍රාම ගියේ පුරාවිද්‍යා නිලධාරියකු ලෙසය.ඔහු අවසනට කීවේ මට දුකක් තියෙනවා. ඒ අපේ අත්දැකීම් ප්‍රයෝජනයට ගන්නව මදි. අනෙක මේ වැඩේට පස් තට්ටු එක්ක හැප්පිලාම ඒක ඉගෙන ගන්න ඕන. ඒකට ඇඟෙන් ඇල්ම තියෙන අය අඩුයි කියාය. ඇල්ෆර්ඩ් ද මෙල් නමැති ඔහු කියා දුන්නේත් තේරුම් ගත්තේත්, හෙළිදරව් කළේත්, මේ විශ්වයේ රටාවය. මහී දෙවගනගේ ආශ්චර්යය. ඒ සියල්ලේම කැටිව තිබුණේ ඔහු පුරාවිද්‍යාවට කළ ආදරයයි. ලංකාවේ ඉතිහාසය අලුතෙන් ලියන්නට ඔහුගේ පස් තට්ටු කෙරෙහි තිබූ ආදරය මහා පරිමාණයෙන් දායක විය. එය අදටත් හෙටටත් ලංකාවේ පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයට නොමැකෙන සලකුණක්ම වන්නේය. මේ ඔහු නමට පුදනා සැබෑ අනිමිස ලෝචනයයි.