October 4, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

ථෙරපුත්තාභය යෝධයා

දුටුගැමුණු, රජතුමන්ගේ දස මහ යෝධයන් හෙවත් සේනාධිපතියන් අතර ප්‍රධාන තැනක් හිමිකර ගත් ථේරපුත්තාභය යෝධයා පැවිදි වී රහත් පලයට පත්වූ බව පැවසෙන ඇඹිලිපිටියේ, තුන්කම, තේරුන්නාසේගම ථේරපුත්තාභය රජමහා විහාරය අයත් ගම්වරය තෙරුන් කටුව නමින්ද හැඳින්වෙයි.ථේරපුත්තාභය හාමුදුරුවෝ මහණ වුණාට පස්සේ දුටුගැමුණු රජතුමාගේ යුද සේනාවේ ඉන්න කා‍ලේ පාවිච්චි කරපු කඩුව දිහා බලාගෙන අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මය මෙනෙහි කරලා රහත් ඵලයට පත් වුණා කියලත් පැරණි ජන ශ්‍රැතියක් තියනවා. ඒ වගේම මේ ස්ථූපය තනවලා තියෙන්නේ ඒ කඩුව තැන්පත් කරලා නිසා මුලදී මේ ප්‍රදේශය තෙරුන් කඩුව විදිහට හැඳින්විලා පස්සේ තෙරුන් කටුව වුණා කියලත් සමහරු කියනවා.නමුත් මේ එකක්වත් ඓතිහාසිකව හෝ පුරාවිද්‍යාත්මකව තහවුරු වෙලා නැහැ මේ චාරිකාව සඳහා මට විශිෂ්ට සහයක් දක්වන මගේ හිතවත් හිටපු පුරාවිද්‍යා නිලධාරී (ගවේෂණ) ජයන්ත විජේරත්න කීය. තුන්කම, තෙරුන්නාන්සේගම රජමහා විහාරය විශාල මකර තොරණකින් යුතු මහනුවර යුගයට අයත් ගෘහ නිර්මාණවලින් යුතු ගොඩනැගිලි කිහිපයක් හෝ දැකිය හැකි ගාම්භීර පෙනුමකින් යුතු පුද බිමකැයි මම මුලදී සිතා සිටියෙමි. එහෙත් රජ මහා විහාරයක් ලෙස හැඳින්වුවද කිසියම් ඓතිහාසිකත්වයක් පිළිබිඹු කෙරෙන එකම ගොඩනැගිල්ලක්වත් එහි නොවිණ.මම ඉස්සරවෙලාම මෙහේ ගවේෂණ කටයුතු පටන් ගත්තේ මීට අවුරුදු තිහකට කලින්, එක්දහස් නවසිය අසූහයේ සැප්තැම්බර් පහළොස්වෙනිදා, එදා ඉඳලා අද දක්වා මේ පුරා විද්‍යා ස්ථානයට සිද්ධ වෙලා තියන හානිය විස්තර කරන්න මට වචන නැහැ. ජයන්ත කීයේ සිත යට සඟවාගත් සුවිසල් සංවේගයකින්, කෝපයකින් හෝ අප්‍රසාදයකින් බව මට මනාව වැටහුණි. ඒ සමගම මගේ සිහියට නැඟුණේ මෙම පුරාවිද්‍යා ස්ථානය සම්බන්ධයෙන් මාධ්‍ය මගින් අනාවරණය කරන ලෙස මීට විසි වසරකට පෙර අවස්ථා ගණනකදී ඔහු විසින් මා වෙතින් කළ ඉල්ලීමය.ඒ අවස්ථාවේ නොයෙකුත් ප්‍රායෝගික කරුණු මුල් කොට ඔහුගේ ඉල්ලීම ඉටු කිරීමට ඉදිරිපත් නොවීමේ තකතීරුකම ඒ වනවිට මටද ශීඝ්‍රයෙන් වැටහෙමින් තිබිණ.මේ සම්පූර්ණ පරිශ්‍රයේ වර්ග ප්‍රමාණය කොච්චර විතර ඇද්ද..? උස් තුරුලතා අතර සැඟවී අන්ත අසරණ ලෙසින් බිම වැතිර නිදන පැරණි ශිලා ස්මාරක අතරින් විහාරස්ථානයේ සංඝාවාසය වෙත පියමණින අතරේ මම ජයන්තගෙන් ඇසීමි.මේ තෙරුන්නාසේගම ගොවි ජනපදයක් හැටියට සංවර්ධනය කරන්න කලින් රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින් මේ ප්‍රදේශය මිනුම් ගත කරලා තියනවා. එතකොට මේ විහාරස්ථානයට සම්බන්ධ නටබුන් සහිත ප්‍රදේශය හැටියට අක්කර හතළිස් එකකටත් ටිකක් වැඩි ප්‍රමාණයක් බෙදා වෙන්කරල තියනවා ජයන්ත කීය.ඒ කියන්නේ අදටත් මේ පන්සලට සෑහෙන ඉඩකඩම් ප්‍රමාණයක් තියනවාද..? මම ඇසිමි.තමන්ගේ ජාතික උරුමය ගැන හිතන ලෝකේ වෙන රටක නම් එහෙම දෙයක් වෙන්න ඉඩ තිබුණා තමයි ජයන්ත කීයේ අතිශය කලකිරීම් සහගතවය. ඒත් අද වෙනකොට උරුමයෙන් හතරෙන් තුනකටත් වඩා විනාශ වෙලා මේවා ජනාවාස වීමත් එක්කම අපේ ඒ උරුමය අපිම විනාශ කරලා කාලා ඉවරයි

ඒ ඉතිහාසයේ නොයෙක් වකවානුවලදී දුටුගැමුණු රාජ චරිතය උත්කර්ෂයට පත් වූ වකවානු අපට ඉතා හොඳින් හඳුනා ගත හැක. පසුගිය යුද ජයග්‍රහණයත් සමග ද එවන් එක් අවස්ථාවක් එළැඹිණි. එහෙත්, ඒ වකවානුවේ වුව දුටුගැමුණු චරිතය තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගත් දේශපාලනඥයන් පවා දුටුගැමුණු රජතුමන්ගේ විශිෂ්ටතම යුද සේනාධිපතිවරයකු වන ථේරපුත්තාභය චරිතය සම්බන්ධ මෙම සජීවී සාක්ෂි සමුදාය මෙසේ පණපිටින් වැළලී යන්නට ඉඩ හැරීම වචනයෙන් විස්තර කළ නොහැකි ජාතික ඛිෙදවාචකයකි. අන් සියලු කරුණු අතහැර දැමූවද මෙම ථේරපුත්තාභය කතා ප්‍රවෘත්තිය ලක් ඉතිහාසයෙන් මතුවන අසිරිමත් චරිතාපදානයක් බවට සැක නැත. සංස්කෘතික වීර කාව්‍යයක එන ප්‍රබල චරිතයක් සිහි ගන්වන එහි එම වීර කාව්‍යවල නොමැති එක්තරා සුවිශේෂත්වයක්ද දක්නට ලැබේ. එනම් එම කතා ප්‍රවෘත්තියේ අවසාන භාගය තුළ බෞද්ධ ආධ්‍යාත්මයේ ගුණ සුවඳින් යුතු මිනිස් සිත් සතන් සුවපත් කරවන කරුණා සහ ශාන්ත රසය නොඅඩුවම ගැබ්ව තිබිමය.මෙම ථේරපුත්තාභය චරිතය පිළිබඳ විස්තර මුල්වරට අනාවරණය වනුයේ සිංහල බුද්ධාගම පිළිබඳ මහා කාව්‍යය වන මහාවංශයෙනි. එහි විසිතුන් වන පරිච්ජේදයේ 55-59 ගාථා පාටවලින් පැවසෙන ථේරපුත්තාභය ජීවන චරිතයේ මුල් කොටස මෙසේය.කොටගල් අසල කන්ති නම් ගම්පති රෝහණ තමන්ට උපන් පුතකු ගම (මාගම රජ කළ) ගෝඨාභය රාජනාමය මුල්කොට අභය යනුවෙන් නම් තැබිය. ඒ දරුවා අතිශය ශක්තිවන්තයෙකි. ඔහු වයස අවුරුදු දහය, දොළහ පමණ වනවිට හතර පස්දෙනෙකුටත් ඔසවා ගත නොහැකි ගල් ඔසවා (යගුලියක් විසී කරන්නාක් මෙන්) දමමින් ක්‍රීඩා කළේය. ඔහුගේ වයස අවුරුදු දහසයේදී පියා ඔහුට (ක්‍රීඩා පිණිස) දහසය රියනක් දිග් වූ තිස් අටක වට ප්‍රමාණයක් ඇති ‘ගදාවක් තනවා දුන්නේය. අභය එම ගදාවෙන් පහර දෙමින් තල්ගස් සහ ‍පොල්ගස් පවා බිම හෙළන්නට විය. එනිසාම ඔහු අසමාන කාය ශක්තියක් ඇත්තකු ලෙස ප්‍රසිද්ධ විය. මහාවංශ පරිච්ජේදයේ 55-59 ගාථාවලින් පැවසෙන එම පුවතට අනුව අභය පුතු නව යොවුන් වියේදී ඔහුගේ පියා වන රෝහණ ගෘහපති අභය මහා සුම්ම හෙවත් සුමන තෙරුන්ගෙන් බණ අසා සසර කලකිරී තමන් සතු සියලු සම්පත් පවරා පැවැදි රහත් පලයට පත් වී තිබේ. අභය පුතු පසුව ‘තෙරුන්ගේ පුත්’ යන අන්වර්ථ නාමය සහිතව ථේරපුත්තාභය වශයෙන් ප්‍රසිද්ධ වී ඇත්තේ ඉන්පසුවය.

එහෙත් මහාවංශයේ නොමැති වුව ඊට පසුකාලීනව ලියවුණු රසවාහිනියේ සහ සද්ධර්මාලංකාරයේ විස්තර වන අන්දමට පසුව අභය පුතු ද තම පියා අනුව යමින් එම සුමන තෙරුන් සමීපයේම පැවිදි බිමට පත්ව එම කෘතීන් ගෙන් පැවසෙන අන්දමට මෙලෙස පිය පුතු දෙදෙන මුලින් පැවිදි වී ඇත්තේ කප්පකන්දර විහාරයේය.මෙහි දී ථේරපුත්තාභය සාමණේරයන් දුටුගැමුණු කුමරුන්ගේ යුද සේනාවට එක්වීම සම්බන්ධයෙන් ඉහත දැක්වෙන කෘතීන් යුගළ මගින් ඉදිරිපත් කරන මතු දැක්වෙන නිදාන කතාව ද අතිශය රසවත්වය. වරක් (ගැමුණු කුමරුන් බැහැ දැකීමට) මාගම බලා යමින් සිටි ගෝඨයිම්බර යෝධයා මෙම විහාරයේ පිහිටි ‍පොල්වත්තෙන් කුරුම්බා කඩා බි විහාර බිම අපවිත්‍ර කොට ඇත. එවිට ථේරපුත්තාභය සාමණේර හිමි වම් පස ඇඟිලි දෙකකින් ගෝඨයිම්බර යෝධයාගේ පය ඩැහැගෙන මිදු‍ලේ ඇදගෙන ගොස් තිබේ. ථේරපුත්තාභය සාමණේරයන් සසර කලකිරී පැවිදි බිමට පත්වුවද අයුක්තිය, අසාධාරණය නොඉවසූ බවට මෙම කතා ප්‍රවෘත්තිය කදිම නිදසුනකි. එවක මාගම රජ කළ කාවන්තිස්ස රජුගේ සමීපතමයකු වූ ගෝඨයිම්බර යෝධයා ථේරපුත්තාභය තෙරුන් තමන්ට කළ මේ මදි පුංචිකම හමුවේ අද මෙන් දේශපාලන පලිගැනීම්වලට යොමු වූ බවක් එම කතා ප්‍රවෘත්තියේ සඳහන්ව නැත. ඒ වෙනුවට ඔහු කරන්නට ඇත්තේ සිරිලක එක් සේසත් කිරීමට සංවිධානය කෙරෙන මහා සේනාව සඳහා සුදුසු ප්‍රමුඛපෙළේ සෙන්පතියකු වීමට මෙම සාමණේර හිමියන්ට ඕනෑවටත් වඩා සුදුසුකම් ඇති බව වටහා ගැනීමය. රසවාහිනීය සහ සද්ධර්මාලංකාරය යන කෘතීන් මගින් පැවසෙන අන්දමට මෙම අසාමාන්‍ය කායශක්තියක් ඇති සාමණේර හිමියන් පිළිබඳව ගෝඨයිම්බර යෝධයාගෙන් තොරතුරු අසා දැනගත් ගැමුණු කුමරුන් ථේරපුත්තාභය සාමණේරයන් සිවුරු හරවා තම සේනාවට බඳවා ගෙන තිබේ. නමුත් ථූපවංශ පුවතට අනුව ථේරපුත්තාභය මුලින්ම කැඳවාගෙන ඇත්තේ ගැමුණු කුමරුන්ගේ පියාවන මාගම රජ කළ කාවන්තිස්ස රජු විසිනි. මේ සම්බන්ධ සියලු ඓතිහාසික කරුණු සියුම් ලෙස සමාලෝචනය කිරීමේදී පෙනී යන්නේ ශ්‍රී ලංකාව එක්සේසත් කිරීමේ සටනේ සමාරම්භක පියවර ගෙන ඇත්තේ කාවන්තිස්ස රජතුමන් විසින් බවය. එහෙත් සංස්කෘතික වීර කාව්‍යයක දුටුගැමුණු රාජ චරිතයේ අනභිභවනීයත්වය හුවා දක්වනු පිණිස මහාවංශ කතුවරයා වෙතින් කාවන්තිස්ස රාජ චරිතයට යම් අසාධාරණයක් වූ බවට මගේ වැටහීමය.