October 1, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

අමෙරිකාව දණගැස්සූ කුචි උමං

වියට්නාමයට යන සංචාරකයන් දැකගත යුතුම ස්ථානයක් ලෙස ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ කුචි උමං පද්ධතිය යි. එරට ජනතාව 1955 සිට 1975 දක්වා වූ ඇමෙරිකානු- වියට්නාම යුධ සමයේ (දෙවන ඉන්දු-චීන යුද්ධය) අමෙරිකන් හමුදාවෙන් තම රට බේරාගැනීම සඳහා කළ දේශප්‍රේමී සටන්වල අනුවේදනීය මතක සටහන් මේ උමං තුළ සැඟව පවතිනවා. කුචි උමං පිහිටියේ හෝචිමිං අග නගරයේ සිට කි. මී. 70ක් වයඹදිගින්. හෝචි මිං නගර මධ්‍යයේ සිට පැය එකහමාරක කාලයකින් මේ පෙදෙසට ළඟා විය හැකියි. එදා දුප්පත් වියට්නාම් වැසියන් තම රට අමෙරිකානු හමුදාවෙන් බේරාගැනීමට දෑතේ ශක්තියෙන් මෙම උමං හාරා තිබෙනවා.උමං පිහිටි ප්‍රදේශය කුචි නම් දිස්ත්‍රික්කයට අයත්. මෙය අද සාරවත් බවින් අඩු, ජනගහනයත් අඩු පළාතක්. නමුත් යුද්ධයට පෙර මේ පළාත පොල්, රබර් වගාවෙන්, සහ කුඹුරුවලින් යුත් සරුසාර පෙදෙසක් වුණා. කුචිවලට උතුරින් පිහිටා තිබෙන්නේ සයිගොන් නදියයි. ඒ ගඟෙන් එගොඩ බෙන්කත් දිස්ත්‍රික්කයයි. මේ සෑම තැනකම එදා සටන් ඇවිලුණා. වියට්නාමයේ වැඩියෙන්ම අමෙරිකන් බෝම්බ ප්‍රහාරවලට ඉලක්කවූ පළාත ලෙස කුචි සැලකෙනවා.“කුචි” යන වචනයේ තේරුම චිත්‍රයයි. කුචි උමං පෙදෙසේ පොළොව මතුපිට පෙනුමත්, පොළොවට යටින් ඇති ස්වාභාවයත් සහමුලින්ම වෙනස්‌. පොළොව මතුපිට ඇත්තේ කැළෑව පැතිරුණූ පාළු බිමක්. කැළෑවට යටින් අංග සම්පූර්ණ යුද නගරයක්‌ පිහිටා ඇතැයි සිතා ගැනීමටවත් නොහැකියි.උමං හෑරුවේ ඇයි?උමං පද්ධතිය කිලෝමීටර් 250 කට වැඩි දුරක්‌ පොළොව යටින් විහිදී තිබෙනවා. ඒ අතරෙහි විවේකාගාර, සංගීත කාමර, අවිහල්, අවි සහ මරඋගුල් නිෂ්පාදනාගාර, බඩු ගබඩා, රැස්‌වීම්ශාලා, රෝහල් සහ මුළුතැන්ගෙවල් ආදී යුද සැපයුම් සහ සටන්කරුවන්ගේ සුබසාධනය සැලසූ සියලු දේ, එනම්, අමෙරිකානු හමුදාව සමඟ රහසේ සටන් වැදීමට අවශ්‍ය හැම දෙයක්ම මේවා තුළ තිබුණා. මෙහි එක්‌ අන්තයක්‌ මීකොං ඩෙල්ටාව ආශ්‍රිත සයිගොං ගංගාවට වැටී ඇත්තේ එම නදිය “හදිසි දොරටුවක්‌” ලෙස පාවිච්චි කරනු පිණිසයි.1940 දශකයේ දී වියට්නාමයට ප්‍රංශ ආක්‍රමණයක් එල්ල වුණා. බලවත් ප්‍රංශ හමුදාවන්ට මුහුණදීමට වියට්නාම් වැසියන් උමං හාරන්න පටන් ගත්තා. එම උමං කි. මී. 48ක් දිගට හාරා තිබුණා. 1945 අගෝස්‌තු මස වන විට ප්‍රංශ යටත් විජිත හමුදාවට හා ජපන් ආක්‍රමණිකයන්ට විරුද්ධ අරගලය එනම් “අගෝස්‌තු විප්ලවය” ජයග්‍රහණය කළා. 1945 සැප්තැම්බර් මස 2 වැනි දා ජනාධිපති හෝ චි මිං විසින් ප්‍රජාතන්ත්‍රවාදී වියට්‌නාම් ජනරජය ප්‍රකාශයට පත් කළා. වසර 7 ක්‌ පැවැති දේශප්‍රේමී යුද්ධය අවසන් වුණේ 1954 මහා සංග්‍රාමයෙන්. එහිදී බලවත් ප්‍රංශ හමුදා වියට්‌නාම් දේශප්‍රේමී හමුදාවට යටත් වුණා. ඊට පසු ඇමරිකානු ආක්‍රමණිකයාට එරෙහි සටන ඇරඹෙනතුරු මෙම උමං පද්ධතිය සහ අවට පෙදෙස වනයට යටවී පැවතුණා.

1956 දී අමෙරිකන් හමුදාව උතුරු වියට්නාමයට පහර දුන්නා. අමරිකානු සහාය ලබමින් දකුණු වියට්‌නාමයේ 1954 සිට රූකඩ පාලනයක් ගෙන ගිය අතර එයට එරෙහිව වියට්කොං භටයන් සටන් කළා. ඇමරිකානු සෙබළුන් සිය දේශයෙන් පලවා හැරීමට වියට්කොං හමුදාව මූලිකවම ආධාර කර ගත්තේ ගරිල්ලා සටන්ක්‍රමයි. පහරදී සැඟවී යාමට ඔවුන්ට උදව් කළේ මෙම අඳුරු උමං විවරයි. මේවා හාරා ඇත්තේ ඉංජිනේරු උපදෙසින් නෙවෙයි. යන්ත්‍රසූත්‍රවලිනුත් නෙවෙයි. සාමාන්‍ය ගොවියන් විසින් සිය දෑතින්මයි.අමෙරිකානු හමුදා නිරායුධ වියට්නාම් වැසියන් ලක්ෂ ගණනක් ඝාතනය කළා. දිගින් දිගටම එල්ලවුණු මෙම දරුණු පහරදීම් හමුවේ අන්ත පරාජයකට පත්වුණු උතුරු වියට්නාම් හමුදාවන් අවසානයේ ජයග්‍රාහකයන් බවට පත් කිරීමේ තීරණාත්මක සාධකය වුණේ “කුචි” උමං පද්ධතියයි.වියට්නාම් ජාතිකයෝ හැමෝම වාගේ උසින් අඩි පහකට අඩුයි. ඒ වගේ මහතිනුත් අඩුයි. මේ හේතුව නිසාම ඔවුන් ඉදිකළ මේ උමං වල ඉක්මනින් සහ පහසුවෙන් යන්න පුළුවන් ඔවුන්ටම පමණයි. උසින් මහතින් වැඩි වුණු ඇමෙරිකානු සෙබළුන්ට මේවා ඇතුළේ සීමිත ඉඩකඩේ ගමන් කිරීමට හිතන්නවත් බැහැ. එනිසා පසුකාලීනව අමෙරිකානුවන් වියට්කොංවරු හැඳින්වූයේ උමං මීයන් ලෙසයි.මේ උමං පිහිටියේ මතුපිට පොළෝ තලයෙන් මීටර් 3 ක්‌ පමණ යටින් ස්තරයන් තුනක් ලෙසින්. එම පස්‌ තට්‌ටුවේ ගනකමට අනුව එයට උඩින් ටොන් 50 ක්‌ බරැති යුද්ධ ටැංකියක්‌ ගමන් කළ ද උමගට හානියක්‌ සිදු වන්නේ නැහැ.උමඟක උස මීටරයක්‌ හෝ මීටර් 1/2 ක්‌ පමණයි. සතුරන් කිසිවෙකුටත් සිතාගත නොහැකි ස්ථාන වලින් තමයි මේවාට ඇතුළුවීමට තිබුණේ. ඇතුළුවීමට ඇත්තේ ඉතා කුඩා සිදුරක්. කෙනෙකුට එහි කඳ කෙළින් තබා ගමන් කළ නොහැකියි. එය පටු වූ බැවින් උමඟ තුළදී ආපසු හැරීමට ද නොහැකියි. එහෙත් තැනින් තැන තරමක්‌ ඉඩ සහිත ස්‌ථාන ඇති අතර ඒවායේ දී ගිමන්හැරීමට අවස්ථාව ලබාදී තිබෙනවා. මේවාට වාතාශ්‍රය ලබාගෙන ඇත්තේ වනයේ තැන තැන තනා ඇති වේහුඹස්වලට සමාන කවුලු වලින්.පොළොව මතුපිට සිට උස අනුව ස්‌ථර තුනකින් උමං මාර්ග ඉදිකර තිබෙනවා. ඒ මීටර් තුනෙන් තුනට ගැඹුරු වන පරිදියි. ඒ අනුව විෂ වායු ප්‍රහාරයක දී පවා පහළම උමං ස්‌ථරය නිරුපද්‍රිත වන ලෙස එය සකසා තිබෙන බව යුද විශේෂඥයන්ගේ අදහසයි.

1966 දී අමෙරිකානු හමුදා සාමාජිකයන් 8000ක් කුචි ගම්මානය පුරා විශාල මෙහෙයුමක් දියත් කළා. බෝම්බ ගණනාවක් දැම්මා. නමුත් අමෙරිකානු හමුදාවලට සතුරන්ගේ මයිල්ගහක්වත් හමුවුණේ නහැ. වියට්කොං කොමියුනිස්ට් සෙබළුන් පහරදී උමං මාර්ගවල සැඟව සිටියා.ඇමෙරිකානුවන් තම දකුණු වියට්නාම් යුද මූලස්‌ථානය පිහිටවනු ලැබුවේ කුචි උමං ප්‍රදේශවලට ඉතා නුදුරින්. මෙවැනි උමං පද්ධතියක් එහි පොළොව යට පවතින බව ඔවුන් හීනෙන්වත් දැනසිටියේ නැහැ. ඇමරිකානුවන්ගේ එම මූලස්‌ථානයට කුචි උමං වලින් පැමිණ වියට්‌කොං ප්‍රහාර එල්ල වද්දී ප්‍රහාරකයන් පැමිණියේ කොහෙන්ද ඔවුන් ගියේ කොහොමදැයි සිතා ගත නොහැකිව ඇමරිකානුවෝ සෑහෙන කලක්‌ අන්දමන්ද වී සිටියා.කුචි ප්‍රහාර සඳහා පැමිණීම ඇමරිකානුවන්ට මරණය සඳහා අතවැනීමක්‌ වගේ වුණා. අමෙරිකානු සෙබළුන් කොපමණ නවීන අවි ආයුධවලින් සන්නද්ධ වුණත් උමං අතරින් නොසිතන මොහොතක මතුවන වියට්‌කොං ගරිල්ලෝ ඇමරිකානු හමුදා වටකොට පහරදුන්නා. සැණෙකින් පලා ගියා. ඒ වගේම මෙහි මර උගුල් බහුලව අටවා තිබුණා. තියුණු උල් සහිති බට කෝටු සිටුවා ඇති බොරු වළවල්වලට වැටෙන ඇමරිකානු භටයන්ට ජීවත්වීමේ වාසනාව හිමිවුණේ නැහැ. එක්‌ උගුලක බොරුවළ මැද තල බඹරයක මෙන් යවුල් රෝද තිබෙනවා. එයට සෙබළා වැටෙන අතර ඔහුගේ පාදාන්තයේ සිට ශීර්ෂාන්තය දක්‌වා යවුල් ඇනෙනවා. මේ මර උගුල් ඉතා සරල තාක්‍ෂණයෙන් යුතු වුවත් ඒවා අතිශයින් භයානක වුණා. එවැනි උගුල් ක්‍රම කීපයක්ම මෙහි දක්නට ලැබුණා. අද ඒවා කෞතුක භාණ්ඩ ලෙස නරඹන්නන්ට දැකගත හැකියි.1967 දී තිස්දහසක අමෙරිකානු හමුදාවක් මේ අවට කඳවුරු බැඳගත්තා. ඒ මේ රහසිගත ප්‍රහාර ගැටලුව විසඳාගන්නයි. ඔවුන් අල්ලාගත් වියට්කොංවරුන්ට වධ දී උමං රහස දැනගත්තා. නමුත් එතන සැඟව සිටින සටන්කාමීන් අඩපණ කිරීමට ඇමරිකාවට නොහැකි වුණා. උමං තුළට ජල ධාරා යැවීම, විෂ වායු යැවීම වැනි උත්සාහයන් ගත්ත ද උමං වල පැතිරීම සහ පිහිටීම හේතුවෙන් එම උත්සාහයන් හරිගියේ නැහැ.වියට්කොං ගරිල්ලන් උමංවල ගතකළ ජීවිතය අතිශය කටුකයි. හරියට කෑමක්බීමක් පවා නැතිව සර්ප දෂ්ටන, මැලේරියාව වැනි ලෙඩරෝගවලට ගොදුරුවෙමින් සිටියත් ඔවුන් අමෙරිකාවට යටත් වුණේ නැහැ. සටන්වලින් ඔවුන් දහස් ගණනක් මියගියා. කුචි වනගත ප්‍රදේශයේ පමණක් 45000ක් පමණ අමෙරිකානු වෙඩි උණ්ඩ සහ බෝම්බ ප්‍රහාරවලින් මියගොස් තිබෙනවා.අදත් ඒ ඛේදවාචකයේ මතක සටහන් කුචි වලදී දැකගත හැකියි. එදා වියට්නාම් වැසියන්ගේ කටුක ජීවිතය කෞතුක අනුරූ ආකාරයෙන් නිරූපනය කර තිබෙනවා. සංචාරකයන් විශාල පිරිසක් වාර්ෂිකව මේ බියකරු අතිතය දැකගැනීමට පැමිණෙනවා. එදා ඔවුන්ගේ ආහාර වූයේ මයියොක්කා, අල, බතල වැනි දේවල්. ඔවුන් කෑම පිස හමාර කළේ පාන්දරයි. ඒ, එවිට මුළුතැන්ගෙයින් පිටවන දුම පාන්දර මීදුමත් සමඟ පිටකර යැවිය හැකි නිසා යි. උමංවල දුම්කවුලු තිබුණේ අඩි සිය ගණනක් දුරින්. ඒ සතුරා නොමඟ යැවීම සඳහායි.වීර ගම්මානවියට්නාම් කොමියුනිස්ට් ජයග්‍රහයකයන් මෙම භූමිය හඳුන්වනු ලැබුවේ අයෝමය භූමිය කියලයි. මෙහි සෑම ගමක්ම යුද්ධයට කළ කැපවීම සිහිපත් කිරීමට වීර ගම්මාන ලෙස නම් කෙරුණා. යුද්ධයෙන් මියගිය සෙබළුන්ගේ සොහොන් මෙහි හැමතැනම දකින්න ලැබෙනවා. “ජාතිය ඔබ සිහිපත් කරයි” යනුවෙන් ඒවායේ සටහන් කර තිබෙනවා. අදත් ඔවුන්ගේ ඥාතීන් මෙම සොහොන්වලට තම ගෞරවය පුදකරනවා.