September 26, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

භාවනාවෙන් ජීවිතේ ජයගත් තරුණයා

ඒ වන විට විසි දෙහැවිරිදි වියේ පසු වූ විශ්වවිද්‍යාල සිසුවෙකි. මිතුරන් පිරිසක් සමග ලන්ඩනයේ අවන්හලක් ඉදිරිපිට සිටිය දී බීමත් රියැදුරකු පැදවූ වාහනයක් ඔවුන් වෙත කඩා වැදුණු අතර ඇන්ඩිගේ මිතුරන් දෙදනකු ජීවිතයෙන් සමුගත්හ. ඊට මාස කීපයකට පසු ඔහුගේ සොයුරිය ජීවිත ගමන නිමා කළේ ඇය ගමන්ගත් බයිසිකලය අනතුරට ලක්වීමෙනි. වැඩි කලක් යන්නට පෙර ඔහුගේ කලින් පෙම්වතිය දිවියට සුමුදුන්නේ ශල්‍යකර්මයකට ලක්වෙමින් සිටියදීය. ඇන්ඩි ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් උපාධිය හදාරමින් සිටිය ද එක විටම නියත වශයෙන් මුහුණ දුන් මේ ඛේදජනක අත්දැකීම් ඔහුගේ ජීවිතය මුළුමනින්ම වෙනස් කිරීමට හේතුවිය. ලන්ඩනයට සමුදී හිමාල අඩවියට ගිය ඇන්ඩි බෞද්ධ භික්ෂුවක ලෙස වසර 10ක් ගත කළේය. මේ කාලයේ ඔහු ආසියානු රටවල සංචාරයේ ද යෙදිණි. දවසේ පැය 16ක්ම ඔහු වෙන් කළේ භාවනාව වෙනුවෙනි. සියලු දුක් පීඩාවන්ට ඉන් සහනයක් ලද බව ඔහුට හැඟිණි.‘‘එක් අරමුණක සිත රඳවා ගැනීමට භාවනාව මට උපකාරි වුණා.’’ මේ වන විට 46 හැවිරිදි වියේ පසුවන ඇන්ඩි පවසයි. ඔහුගේ පවුලේ අය සහ මිතුරන් ඒ දිනවල ඔහු ගැන සිටියේ තැවුල් සහිත මනසිනි. ‘‘ඒ කවුරුවත් ඇත්තටම මෙය ගැන හරියට දැන සිටියේ නෑ. ඒත් මෙය දැන ගැනීම ඔවුන්ට විශාල සතුටක් වුවා වගේම දිරිගැන්වීමටත් හේතුවක් වුණා.’’ යැයි ඔහු පවසා තිබිණි.ඇන්ඩි ආපසු සිය රටට, එක්සත් රාජධානියට එන්නේ 2005 දීය. ඔහු තමන් ප්‍රගුණ කළ භාවනාව ව්‍යාපාරයක් ලෙස ආරම්භ කළේය. බ්‍රිතාන්‍යයේ භාවනාව ඒ වන විට එතරම් ප්‍රචලිතව නොතිබිණි.‘‘භාවනාවේ භාෂාව හඳුනාගැනීමට සමහරු අසමත් වුණා. සමහරු හිතුවේ මෙය හිපි සංස්කෘතියට අයත් දෙයක් කියලා. සමහර අයට මේ වෙනුවෙන් වැය කිරීමට කාලය තිබුණේ නෑ. භාවනා කරන්නේ කෙසේ දැයි දැන නොසිටි අයත් සිටියා.’’ ඇන්ඩි පවසයි.ඔහු භාවනාව ඉගැන්වීම කුඩා පරිමාණයේ ව්‍යාපාරයක් ලෙස ලන්ඩනයේ දී ඇරඹීය. එදිනෙදා කාර්යබහුල ජීවිතයක් ගතකරන වෘත්තිකයන්ට පවා ඔහු භාවනාව උපකාරි වන අයුරු ඉගැන්වීය.ඇන්ඩි සමග මේ ව්‍යාපාරය පෙරට ගෙනයාමට රිචඩ් පියර්සන් එක්විය. මේ වන විට ඔහු 38 හැවිරිදිය. ඔවුන් එක්ව භාවනා ඇප් එකක් හඳුන්වාදීමත් සමග එය ලොව පුරා බොහෝ දෙනෙකු අතර ප්‍රචලිත විය. දැනට මෙම භාවනා යෙදවුම බාගත කරගෙන ඇති වාර ගණන මිලියන 54කි. ඒ සමග ඔවුන්ගේ වාර්ෂික ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 100ට වඩා ඉහළ ගොසිනි. වර්ෂ 2005 වන විට රිචඩ් ද, ඇන්ඩි මුණ ගැසීමට වේලාවක් වෙන්කර ගත් වෘත්තිකයන් අතර සිටියේය. විශ්වවිද්‍යාලයෙන් පිටවීමත් සමග ඔහු ලන්ඩනයේ දැන්වීම් ප්‍රචාරණ ක්ෂේත්‍රයේ සිටි කාර්යබහුල චරිතයකි.‘‘මම සමාජීය වශයෙන් හුදකලාවක සිටියේ. ඒක හරිම අභියෝගාත්මක කාරණයක් වුණා. මේ පීඩනය ගැන බෙදාගන්න පුළුවන් මිතුරු පිරිසක්වත් මට සිටියේ නෑ. මට ඇන්ඩි මුණගැසෙන විට මම මං මුළා වෙලා සිටියේ. පළමු හමුවත් සමගම වගේ ​ඔළුවේ බොහෝ සිතුවිලි හටගත්තා.

’’ ජීවිතයට මග පෙන්වීමක් කරන කෙනෙක් පෙනෙන්න පටන් ගත්තා. ඒ හමුව රිචඩ්ගේ ජීවිතයේ සන්ධිස්ථානයක් වූවා සේම ඔහු වැනි බොහෝ පිරිසකට සෙත සදන ඇරැඹුමක් ද විය. ‘‘ඔහු මට භාවනාව ඉගැන්වූවා. මම ඔහු වෙත ආවෙ අදහස් පොකුරක් එක්ක. ඔහු වඩාත් දෘශ්‍යමානවිය යුතු බව මම කිව්වා. ඔහු ඔහුගේම කාමරයකට සීමාවීම ලජ්ජාවක් වගේ මට දැනුණෙ.’’වසර 2010 වන විට ඇන්ඩි හා රිචඩ් එක්සත් රාජධානිය පුරා වැඩසටහන් සංවිධානය කරමින් සිටියහ. භාවනාවේ ප්‍රතිලාභ පෙන්වා දෙමින් කණ්ඩායම් භාවනා සැසි ද පැවැත්විය. ඉන් ලැබුණු මුදල් මෙන්ම මිතුරන් ගේද ආධාර උපකාර ඇතිව පළමු හෙඩ්ස් පේස් ඇප් එක හඳුන්වාදීමට ඔවුන්ට හැකිවිය. එම පළමු යෙදවුම භාවනාව පිළිබඳ විනාඩි 10ක උපදේශයකි.එක් සෙනසුරාදාවක ‘ගාඩියන්’ පුවත්පත සමග හෙඩ්ස්පේස් ගැන හඳුන්වාදෙමින් පොත් පිංචක් බෙදා හැරිණි. වර්ජින් අත්ලන්තික් ගුවන් සේවය සිය විනෝදාශ්වාද අංග අතරට ඇන්ඩිගේ භාවනා වැඩසටහනේ අන්තර්ගත කොටස් ද ප්‍රචාරය කළේය. මේ සමග භාවනා යෙදෙවුම භාගත කරගන්නා සංඛ්‍යාව ඉහළ ගියේය. අද වන විට යෙදවුම වෙනුවෙන් වසරකට ගෙවීමට සිදුවන මුදල පවුම් 9.99කි.2013 වන විට රිචඩ් සහ ඇන්ඩි සිය ව්‍යාපාරය පිහිටු වූ ලන්ඩන් සිට ලොස්ඇන්ජලීස් නුවරට රැගෙන යාමට කටයුතු කළහ. ‘‘අපි ගියේ ලන්ඩනයට ආදරය නොකළ නිසා නොවෙයි. ඒත් අපි දෙදෙනා කැලිෆෝනියාවේ ජීවත්වීමට සිහින දුටුවා. වඩාත් එළිමහන් ජීවන රටාවකට ප්‍රිය කළා. සර්කස් කරන්න කඳු නගින්න ඇළුම් කළා. මේ ලොස්ඇන්ජලීස් ජීවිතය අපේ පවුල්වලටත් ගැළපුණා.’’ ඇන්ඩි පවසයි.මුලදී සෑම භූමිකාවක්ම ඉටු ක‍ළේ ඔවුන් දෙදෙනාම වුව ද පසුව රිචඩ් ප්‍රධාන විධායක ලෙස පත්විය. ව්‍යාපාරයේ පරිපාලන කටයුතු සහ සමස්ත මෙහෙයුම් සඳහා 300ක පමණ සේවක පිරිසක් ද ඔහුගේ කළමනාකාරීත්වය යටතේ සිටිති.භාවනා යෙදවුමට පමණක් ඔවුන් සීමා වී නැත. ගූගල්, ලින්ක්ඩ් ඉන් ජෙනරල් ඉලෙක්ට්‍රික්, යුනිලිවර් වැනි දැවැන්ත සමාගම් ද මේ සමාගමේ සේවා ලාභීහු වෙති. එවැනි සමාගම්වල ඉහළ කළමනාකරුවන් මෙන්ම සෙසු සේවයන්ට ද ඔවුහු භාවනා වැඩසටහන් පවත්වති. හාවඩ් ස්ටැම්ගර්ඩ් වැනි සරසවි සමග එය කටයුතු කරමින් සිටී. එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය ද ඔවුන්ගේ සේවය ලබා ගනී. ඇන්ඩි කොපමණ කාර්ය බහුල වුවද අදටත් දිනපතා භාවනාවේ යෙදේ. රිචඩ් ද එසේමය. ‘‘අපි හැමදාමත් භාවනාවේ යෙදෙනවා. අපට ඒ ප්‍රතිඵල ගැන සැබෑ විශ්වාසයක් තියෙනවා. ඇප් එක සමූහයකට වගේම තනි පුද්ගලයකුට වුණත් ඉතාමත් වැදගත්.’’ ඒ රිචඩ්ගේ වචනය.