September 24, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

ගැස්සෙන පරවි කාවඩිය

දේව කතාවකට යමු. හිදම්භේෂ්වර යනු දක්ෂ සෙන්පතියෙකි. ඔහු ස්කන්ධ කුමරු සමඟ ඇති කරගත් සටනකින් පරාජය වී අගස්ති නම් ඍෂිවරයා වෙත පලාගොස් උදවු ඉල්ලා ඇති අතර ඍෂිවරයා ස්කන්ධ කුමරුගෙන් සමාව භජනය කර ගැනීමට නම් ශිවගිරි සහ සප්තගිරි කඳුවැටි ගෙන එන්නැයි හිදම්භේෂ්වරට කියා තිබේ. හිදම්භේෂ්වරයා දිගු දණ්ඩකින් කඳු වැටි දෙක රැගෙන එන අතර බර හෑල්ලු කර ගැනීම සඳහා කඳු වැටි බිම තබා නැවත වරක් ඔසවා ගැනීමට තැත් කිරීමේදී එය ව්‍යර්ථ වී තිබේ. ඉන් පසුව අගස්ති ඍෂිවරයා ස්කන්ධ කුමාරයා අමතා හිදම්භේෂ්වරයාගේ පක්ෂපාතීත්වය සපථ කොට තිබේ. ඉන් පසුව ස්කන්ධ කුමාරයාගේ සෙන්පති තනතුරක් හිදම්භේෂ්වර සෙන්පතියාට ලැබුණු බවත් ඒ සතුටට ඔහු ශිවගිරි හා සප්තගිරි කඳු වැටි දෙක කරමත තබාගෙන නර්තනයක් කළ බවත් පැවැසේ. ශිවගිරි හා සප්තගිරි කඳු වැටි දෙක සතුට හා භක්තිය ලෙස ගෙන ඉන් පසුව හින්දු බැතිමතුන් මුරුගන් දෙවියන් සතුටු කරන්නට කාවඩි නර්තනය අරඹා ඇතැයි පැවැසේ. ඒ කාවඩි නර්තනයේ මූලාරම්භය පිළිබඳ හින්දු දේව කතා ධූරාවලියේ සටහන් වන යමකි. අප ඇස්මානයේ දකින කාවඩිය උරහිසෙහි තබාගෙන නර්තනය කිරීම දැන් නම් විලාසිතාවක් වී තිබේ. නිවැරැදි ලෙස කාවඩිය නිර්මාණය කළ යුත්තේ ස්කන්ධ කුමාරයාගේ වාහනය වන මොනරාගේ පිල් යොදා ගැනීමෙන් වුවත් දැන් නම් කාවඩි සැකසෙන්නේ සව්කොළවලිනි. ස්කන්ධ කුමාරයාගේ වාහන මතින් සැරසුණු කාවඩි මේ වනවිට බෞද්ධ පෙරහරවල පවා සුවිශේෂී අංගයක් වී තිබේ.

නමුත් හින්දුන්ට නම් මුරුගන් සතුටු කිරීම භක්තිය හා ගෞරවය මුසු කාරණයකි. ඒ නිසාවෙන් යාල්පානම තුළ කාවඩි නර්තනයේ විවිධ ප්‍රභේදයන්ද දක්නට තිබේ. මුරුගන් කාවඩි, පාල් කාවඩි හෙවත් කිරි කාවඩි, බක්කි කාවඩි, පරෙවි හෙවත් කුරුරු කාවඩි හෙවත් ගිනි කාවඩි ප්‍රභේදවලින්පැ වැතෙන්නේ නර්තනය මඟින් ප්‍රගුණ කරන ලද භක්තිය. ඒ අතරින් පරෙවි කාවඩිය සුවිශේෂීය. සැබැවින්ම එය විස්මයජනකම දර්ශනයකි. කරත්තයක මුදුනෙහි කාවඩිය තබා ඉන් පහළට එල්ලෙන නූල් කීපයක කෙළවරේ ඇති කොකුවලින් සම සිදුරු කරගෙන පරෙවි කාවඩිකරු එසේත් නොමැතිනම් මුරුගන් භක්තිකයා සිය නිවෙසේ සිට කෝවිල කරා කොකු මඟින් එල්ලී කෝවිල කරා පැමිණ කෝවිල් ද්වාරය අසලදී පොල් ගෙඩියක් පොළොවේ ගසන අතර ඉන් පසුව කරත්තය මුදුනෙහි තැන්පත් කර තිබුණු කාවඩිය කරෙහි තබාගෙන කෝවිල වටා ගොස් මුරුගන් දෙවියන් වන්දනාමාන කරනු ලබයි. අද වන විට යාපනය තුළ සාම්ප්‍රදායික කරත්තකරුවන් සොයා ගැනීමට දුෂ්කරතා ඇති නිසා කරත්තය වෙනුවට පරෙවි කාවඩිය රැගෙන යෑම සඳහා ට්‍රැක්ටර් භාවිත කරනු ලබයි. තල් පොලු තබා හරහට බඳිනා ලද උඩ වැස්මක් ට්‍රැක්ටරයට සවි කර එය මත පරෙවි කාවඩිය තබනු ලබයි. අප සමඟ සිටින ගමන් මඟ පෙන්වන්නා අසම සම මුරුගන් භක්තිකයෙකි. මෙම මුරුගන් භක්තිකයා සප්පරම් රථය ඇදගෙන යෑම සඳහා දැඩි රුචිකත්වයක් දක්වන්නෙකි. සප්පරම් පදින්නට එක් විය හැක්කේ උඩුකය නිරුවත් අයට පමණි. එම නිසා මොහු සිටින්නේද උඩුකය නිරුවතිනි. කෝවිල වටා සප්පරම් රථයෙන් ගමන් කරන දේව පිළිම නැවතත් කෝවිල තුළ තැන්පත් කිරීමෙන් අනතුරුව සප්පරම් උත්සවය අවසාන වේ. උත්සව සමයන්හිදී යාපනයේ ඇති සියලු කෝවිල් හරහා සප්පරම් රථ ඇදගෙන යනු ලබයි.

සප්පරම් රථයට පසු නිවැරැදිව පවසා සිටියොත් ඊට පසු දින ඇදගෙන යනු ලබන්නේ ටේර් රථයය. මෙවැනි සප්පරම් හා ටේර් ඇදගෙන යෑම හින්දු සංස්කෘතියේ ජනප්‍රියතම ලක්ෂණයකි. නල්ලූර් කෝවිලේ අති දැවැන්ත ටේර් රථය කෝවිල් භූමිය වටා ඇති වැල්ලේ ඇදගෙන යන්නේ කෙලෙසදැයි සිතා ගත නොහැකිය. උදෑසන හිස් බඩින් යුතුව ටේර් උත්සව සඳහා සහභාගි වන බැතිමතුන්ට උත්සවය අවසානයේ පමණක් කෝවිල් බත කන්නට සිදුවේ. යාපනයේ සිටිනා මිනිසුන් දෙවියන් විශ්වාස කරන්නේ නම් ඔවුන්ට කෝවිල් අනිවාර්යය. වේදනාව සමඟ මුසු වූ භක්තියක් කරපින්නා ගත් අප ගමන් මඟ පෙන්වන්නා පරෙවි කාවඩියට සූදානම් වන අයුරු පහදා දුන්නේ මෙලෙසය. “පරෙවි කාවඩියට කෙනෙක් සූදානම් වෙද්දී පවුලේ අය විතරක් නෙවෙයි අසල්වැසියොත් ඒ කෙනාට උදවු කරනවා. ඔය කොකු ගහන්නේ ඇඟේ තියෙන නියම නිල අල්ලලා. ඒක ලේසි පහසු වැඩක් නෙවෙයි. ඇඟේ බර සමබර කරගෙන විතරක් කොකු ගහන්න බැහැ. ඒකට අදාළ නිල ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනෑ. කොකු ගැහුවා කියමු. කට පසාරු කරගෙන යන්න වජ්‍රායුධය ගහන්න ඊට වඩා හොඳ දැනුමක් තියෙන්න ඕනෑ. පරෙවි කාවඩිය තොටිල්ල වගේ පැද්දෙනවා. ඒක එහෙම තමයි හදන්නේ. එතකොට පරෙවි කාවඩිය ට්‍රැක්ටර් අට්ටාලයේ තියලා පැද්දි පැද්දී තමයි ගෙදර ඉඳලා දෙවොලට එන්නේ.

අට්ටාලය පද්දන්න පුළුවන් විධියටත් සකසන්නේ. පෙළක් පරෙවි කාවඩිකාරයෝ කිලිනොච්චි පොයිට් පේදුරු වගේ දුර ප්‍රදේශවල ඉඳලා පරෙවි කාවඩියේ එල්ලිලා තමන් කැමැති දේවාලවලට එනවා. ගොඩක් එන්නේ නල්ලූර්වලට. ටේර් රථ ඇදගෙන යන උත්සවයේදීත් දිය කැපීමේ උත්සවයේදීත් තමයි වැඩිම කාවඩිකාරයෝ පිරිසක් නල්ලූර්වලට එන්නේ. ගෙදර ඉඳලා කෝවිලට ඇවිල්ලා පොල් ගෙඩියක් ගැහුවට පස්සේ තමයි පරෙවි කාවඩිය අවසන් වෙන්නේ. කාවඩි පූජාවෙන් පසු පරෙවි කාවඩිකරුවාගේ පවුලේ උදවිය පරෙවි කාවඩියට උදවු වෙච්ච අයට භෝජනයට සංග්‍රහයක් ලබාදිය යුතුයි. පරෙවි කාවඩි විතරක් නෙවෙයි අනෙක් කාවඩි පූජාවන් හරියට කරනවා නම් වජ්‍රායුධයකින් මුඛය සිදුරු කරගෙන තවත් වජ්‍රායුධයක් අතේ තියා ගන්න ඕනෑ. ඒත් දැන් එහෙම වෙන්නේ නැහැ. හරි කාවඩියක් අද වෙද්දි නටන්නේ යාපනේ විතරයි. අනෙක් කාවඩි මුදලට නටන ඒවා. ඒ කාවඩිවලින් මුරුගන්ව සතුටු කරන්න බැහැ. සිරුරට වේදනාවක් ලබාදෙමින් දෙවියන්ට භක්තිය මුසු ආදරය පිළිගන්වනු ලබන පරෙවි කාවඩිකරුවන් එක් අතකින් අපූරු බැතිමත්හුය. කෝවිල වටේ පෙරළෙන පීඩිත මිනිසුන් සිය දහස් ගණනක් අතරින් පරෙවි කාවඩිකරුවන් ඉදිරියෙන්ය. ජීවිත පීඩනය වැඩිවෙත්ම ඔවුන් දෙවියන් කෙරෙහි ඇති භක්තිය තව තවත් මෝරා යන්නයි මෙහිදී පිරිපහදු වන සත්‍යය වන්නේ. නමුත් එය යම් දර්ශනයක් සමඟ සබැඳි යමක් නිසා මින් මත්තට අදහස් ප්‍රකාශ කිරීම නොවටී.