January 19, 2021

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

රෝහිත් සහ කෝලි පාකිස්තානුවන්ට මදි නොකියන්න සලකයි

ප්‍රචණ්ඩකාරී පිතිහරඹයක නිරත වූ රෝහිත් ෂර්මාත් (140) එක්ව එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරදී අද (16 වැනිදා) පැවැත්වෙන  තරගයේදී ඉන්දීය පිල ලකුණු 300 න් ඔබ්බට කැඳවාගෙන ගියහ. තරගයේ 47 වැනි ඕවරයේදී වර්ෂාව නිසා ක්‍රීඩාව නතර කරන විට ඉන්දීය පිල කඩුලු 4 ක් දැවී ලකුණු 305 ක් ලබා තිබිණ. මැන්චෙස්ටර්හි ඕල්ඞ්ට්‍රැෆර්ඞ් ක්‍රීඩාංගණය වර්ෂාවෙන් ඇතිවන බාධාකිරීම් සඳහා මහත් ප්‍රසිද්ධියක් උසුළන අතර තරගය කිනම් මොහොතක යළි ආරම්භ වේද යන්න අනාවැකි කිව නොහැකි තත්ත්වයක පවතී.

තරගය නතර කරන විට විරාට් කෝලි නොදැවී ලකුණු 71 ක් ලබා සිටි අතර පන්දු 113 කදී ලකුණු 140 ක් ලබාගත් රෝහිත් ෂර්මා දැවී ගොස් තිබිණ. ලෝක කුසලාන තරගයකදී පාකිස්තානයට එරෙහිව ශතකයක් ලබාගත් දෙවැනි පිතිකරුවා බවට රෝහිත් ෂර්මා පත්වූ අතර රෝහිත්ට පෙර විරාට් කෝලි එම දස්කම කළ පිතිකරුවා වී සිටියේය. දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවී ලකුණු 122 ක් ලබාගනිමින් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කළ රෝහිත් ෂර්මා ඕස්ටේ්‍රලියාවට එරෙහිව ද අලංකාර ලකුණු 57 ක් ලබාගත්තේය. 31 වැනි ඕවරයේදී ෂර්මා ශතකය ලබාගන්නා විට ඉන්දීය පිල කඩුල්ලක් දැවී ලකුණු 172 ක් ලබා සිටියේය.සිය 222 වැනි එක්දින ඉනිමේදී 11,000 වැනි ලකුණ ලබාගත් විරාට් කෝලි ඉනිම 276 කදී මෙම කඩයිම පසුකළ සචින් තෙන්ඩුල්කාර්ගේ ලෝක වාර්තාවත් අභිබවා ගියේය. කාසියේ වාසිය ඉන්දීය පිලට අහිමි වූ නමුත් තාවකාලික ආරම්භක පිතිකරුවා වූ ලෝකේෂ් රාහුල් සමග එක්වූ ෂර්මා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 137 ක සමබන්ධතාවක් ගොඩනැංවීය. එය මෙම පිතිකරුවන් දෙදෙනා එක්දින තරගයකදී ඉනිම ආරම්භ කළ පළමු අවස්ථාව ද විය.

පන්දු 34 කින් සිය අර්ධ ශතකය කරා අවතීර්ණ වූ දකුණත් ආරම්භක පිතිකරුවා, වේග පන්දු යවන හසන් අලී හමුවේ ගැසූ ස්ක්වෙයාර් කට් පහරකින් පන්දුව නරඹන්නන් අතරට යවා ලකුණු 90 සීමාවට ඇතුළත් විය. පන්දු 85 කදී සිය 24 වැනි එක්දින ශතකය සම්පූර්ණ කළ රෝහිත් ෂර්මා හයේ පහර 3 කින් සහ හතරේ පහර 9 කින් එය අලංකාර කර තිබිණ.මේ අතරවාරයේදී වමතින් වේග පන්දු යවන්නන් වූ වහබ් රියාස්ට මෙන්ම මොහොමඞ් අමීර්ටද තණතීරුව මත දිවයාම සම්බන්ධයෙන් විනිසුරුවරු අවවාද කළහ. ඕස්ටේ්‍රලියානු පිල හමුවේ සිය හොඳම එක්දින පන්දු යැවීම වාර්තා කළ මොහොමඞ් අමීර් දෙවතාවක්ම එම වරද කළ අතර තවත් එක වතාවක් හෝ තණතීරුව මත දිවගියේ නම් මෙම තරගයේදී ඔහුගේ පන්දු යැවීම තහනම් කිරීමට විනිසුරු බෲස් ඕක්සන්ෆර්ඞ් මහතාට අවසර තිබිණ.

තරගය ආරම්භ කිරීමට පෙර පාකිස්තානයේ වත්මන් අගමැති ඉම්රාන් ඛාන් මහතා (1992 දී ලෝක කුසලානය පාකිස්තානයට දිනා දුන් කණ්ඩායමේ නායකයා) පාකිස්තානු පිලේ නායක සර්ෆ්‍රාස් ඛාන්ගෙන් ඉල්ලා සිටියේ කාසියේ වාසිය ජයගතහොත් පළමුවෙන් පන්දුවට පහරදීම තෝරා ගන්නා ලෙසයි. එහෙත් සර්ෆ්‍රාස් පාකිස්තානු අගමැතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.මේ වන විට ප්‍රසාද ලකුණු පුවරුවේ කණ්ඩායම 10 ක් අතුරින් 9 වැනි ස්ථානය ගෙන සිටින පාකිස්තානයට ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළ නැගීමට අවශ්‍ය නම් මෙම තරගයේදී ඉන්දියාව පරාජය කළ යුතුව තිබේ. මේ වන විට ලෝකය පුරා කෝටි 100 කට වැඩි පිරිසක් රූපවාහිනියෙන් මෙම තරගය නරඹමින් සිටින අතර 800,000 ක් දෙනා මැන්චෙස්ටර් නුවර ඕල්ඞ්ට්‍රැෆර්ඞ් ක්‍රීඩාංගණයේදී තරගය නැරඹීම සඳහා ප්‍රවේශ පත් ඉල්ලා තිබිණ. එහෙත් මැන්චෙස්ටර් ක්‍රීඩාංගණයේ අසුන්ගත හැක්කේ ප්‍රේක්‍ෂකයන් 26,000 කට පමණි.