September 24, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

රංගිරි දඹුලු රජමහා විහාරාධිපතිගෙන් කෝටි 10ක කප්පම් ඉල්ලලා

තව්!හිද් ජ!මාත් සංවිධානයේ ප්‍රබලයන් බව පවසමින් ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරස්ථ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර නාහිමියන්ගෙන් රුපියල් කෝටි 10ක කප්පම් මුදල් ඉල්ලා සිටි පුද්ගලයන් තුන්දෙනකු පෙට්රල් බෝම්බයක් සමඟ සැකපිට පෙරේදා (08දා) රාත්‍රියේ දඹුල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගනුලැබ තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල සහ සීගිරිය ප්‍රදේශවල පදිංචි තව්!හිද් ජ!මාත් සංවිධානයේ නායකයන් ලෙස ව්‍යාජව පෙනී සිටි සිංහල ජාතිකයන් තිදෙනකු බව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා පැවැසීය. දින ගණනාවක සිටම රංගිරි දඹුලු රජමහ විහාරයේ භාරකාර සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය අඹගස්වැව රාහුල මාහිමියන්ගේ ජංගම දුරකථනයට ඇමතුම් ගනිමින් තමන් තව්!හිද් ජ!මාත් සංවිධානයේ බව පවසා රුපියල් කෝටි 10ක මුදලක් අවශ්‍ය බව පවසා තිබේ. මුදල නොදෙන්නේ නම් නාහිමියන් ඝාතනය කරන බවද ඔවුන් මුස්ලිම් ජාතිකයන් සිංහල භාෂාව කතා කරන විලාසයට දැනුම් දී ඇතැයි පොලිසිය කියයි.

නාහිමියන්ගේ දැනුම්දීම පරිදි දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා ඉතා සූක්ෂ්ම ලෙස නාහිමියන් ආසන්නයේ රැඳී සිටිමින් දින කිහිපයක්ම ලැබෙන ඇමතුම් පටිගත කොට ඉතා සූක්ෂ්ම ලෙස විද්‍යාත්මක පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ. ඒ අනුව ඔවුන්ගේ දුරකථන විශ්ලේෂණ දත්ත අනුව සිදුකරන ලද සූක්ෂ්ම මෙහෙයුමකින් පසු මෙම පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි. මෙම සැකකරුවන් ඇමතුම් ලබාගෙන ඇති දුරකථන සිම් කාඩ්පත පාදුක්ක ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයකුගේ නමට ලියාපදිංචි කර තිබුණු බව පොලිසිය කියයි. එම සිම් පත ලබාගැනීම සඳහා මේ පිරිසට දුරකථන පෞද්ගලික සමාගමක සේවකයකුගේ සහයෝගය ලබාගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත් තිදෙනාගෙන් දෙදෙනකු නාහිමියන් වැඩසිටින පන්සලට යාබද පන්සලක සේවය කරන රියැදුරකු හා හිටපු රියැදුරකු බව පොලිසිය කියයි. අනෙක් සැකකරු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි.

මේ තිදෙනා කප්පම් මුදල් ගැනීම සඳහා නාහිමියන්ට පාරේ ගමන් කරද්දී පෙට්රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවත් ඒ සඳහා සීගිරිය ප්‍රදේශයේදී පෙට්රල් බෝම්බ දෙකක් පුපුරවා අත්හදා බැලූ බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. මෙහිදී මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා කියා සිටියේ පොලිස් පරීක්ෂණ නිසි ලෙස ඉටු කිරීම නිසා සිදුවන්නට ගිය විශාල අනතුරක් මඟහැර ගැනීමට හැකි වූ බවය. ඓතිහාසික රංගිරි දඹුලු රජමහයේ පූජ්‍ය අඹගස්වැව රාහුල නාහිමියන් කියා සිටියේ තමන් මේ පිළිබඳව පන්සලේ හෝ කිසිවකුට නොකියා ඉතා පරිස්සමෙන් මූලස්ථාන පොලිස් පරීක්ෂ සම්පත් වික්‍රමරත්න මහතා සමඟ මෙම අපරාධකරුවන් කොටුකර ගන්නට සහයෝගය දුන් බවය.

සැකකරුවන් ඊයේ (09දා) දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. මධ්‍යම පළාත් ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ, මහනුවර හා මාතලේ භාර නියෝජ්‍ය පොලිස්පති පී.ආර්.එල්. රණවීර, මාතලේ කොට්ඨාස භාර පොලිස් අධිකාරි ඩී.එස්.පී. සන්දනායක හා දඹුල්ල සහකාර පොලිස් අධිකාරි ජාලිය හීන්කෙන්ද යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න, උප පොලිස් පරීක්ෂකවරුන් වන ඒ.ටී. බණ්ඩාර හා කේ.එම්. ගයාන් බුද්ධික යන මහත්වරු ඇතුළු තවත් පොලිස් නිලධාරීහු පරීක්ෂණ පවත්වති.