October 25, 2020

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

අපරාජිත වාර්තාව රැකගැනීමට අවස්ථාවක්

ශ්‍රී ලංකා අතීත ක්‍රිකට් විරුවෝ ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ බංග්ලාදේශයට එරෙහිව රැකගෙන සිටින අපරාජිත වාර්තාව ආරක්‍ෂා කරගැනීමට දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හෙට (11) විශේෂ අවස්ථාවක් හිමිවේ. 12 වැනි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බි්‍රස්ටල්හිදී බංග්ලාදේශයට එරෙහිව හෙට (11) පැවැත්වෙන තරගය ශ්‍රී ලංකාවට පැති කීපයකින් වැදගත් වී තිබේ. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය ලෝක කුසලාන තරගාවලිවලදී මේ දක්වා අවස්ථා තුනකදී මුණගැසී ඇති අතර එම අවස්ථා තුනේදීම ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ලබා තිබේ. බංග්ලාදේශය 1999 වසරේ පැවැති එංගලන්තයේදී පැවැති 7 වැනි ලෝක කුසලාන තරගාවලියේ සිට ලෝක කුසලාන තරගාවලියට එක්විය. ශ්‍රී ලංකාව 2003 වසරේ කඩුලු 10 කින් ද, 2007 වසරේ කඩුලු 6කින් ද, 2015 වසරේ ලකුණු 92 කින් ද, බංග්ලාදේශය පරාජය කර තිබේ.

ලෝක කුසලාන කීර්තිය රැකගැනීම මෙන්ම මෙවර ලෝක කුසලාන තරගාවලියේ සාර්ථකව ඉදිරියට යෑමට නම් මෙම තරගයේ ජයග්‍රහණය වඩාත් වැදගත් වී තිබේ. ශ්‍රී ලංකාවට මෙම තරගයෙන් පසුව ප්‍රබල කණ්ඩායම් 5කට එරෙහිව තරග කිරීමට නියමිතය. ශ්‍රී ලංකාව මේ වනවිට තරග 3 කට සහභාගි වී ඇෆ්ගනිස්තානයට එරෙහිව පමණක් ජයලබා ප්‍රසාද ලකුණු 3ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ 5වැනි ස්ථානයේ පසුවෙයි. බංග්ලාදේශය තරග තුනේදී ප්‍රබල දකුණු අප්‍රිකානු පිල පරාජය කරමින් ප්‍රසාද ලකුණු 2ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ 6වැනි ස්ථානයේ පසුවෙයි. බංග්ලාදේශය මේ දක්වා සහභාගි වූ තරග තුනේදීම පිතිකරු අංශයෙන් සාර්ථකත්වයක් ප්‍රදර්ශනය කර තිබේ. ශ්‍රී ලංකාව 2018 වසරේ බංග්ලාදේශයට එරෙහිව එක්දින තරග 4කට සහභාගි වී තරග 2ක් ජයලබා තරග 2ක් පරාජයට පත්ව තිබේ.

දෙරට අතර අවසන් එක්දින තරගය පසුගිය වසරේ (2018) සැප්තැම්බර් මස 15 වැනිදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට කළු පැල්ලමක් එකතු කරමින් ලකුණු 137 කින් පරාජයට පත්විය. එම තරගයේදී බංග්ලාදේශය නියෝජනය කළ සියලු ක්‍රීඩකයන් හෙට (11) පැවැත්වෙන තරගයට ක්‍රීඩාකරන සංචිතයට ඇතුළත්ව සිටීම වඩාත් තීරණාත්මක වී තිබේ. එම තරගයේදී ලකුණු 144ක් රැස්කළ මුෂ්ෆිකුර් රහීම් මෙම ලෝක කුසලාන තරගාවලියේදී ලකුණු අතර සිටීම විශාල අභියෝගයක් වීමට ඉඩ නැතුවා නොවේ.