September 27, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

ඊලග පොදු අපේක්ෂකයා කවුද ?

ඉදිරි 2020 ජනපතිවරණයේ පොදු අපේක්ෂක ලෙස ධම්මික පෙරේරා මහතා එක්සත් ජාතික පෙරමුණින් තරග වැදීමට සූදානමක් ඇති බවට වාර්තා පළව තිබේ. මේ වෙනුවෙන් ආරාධනය සිදු කිරීමට රනිල් වික්‍රමසිංහ ඔහු හමුවට ගිය බවත් තහවුරු නොකළ මාධ්‍ය වාර්තා පළව ඇත. ශ්‍රීලනිපය සහය දැක්වීමෙන් හෝ එසේ නැතිව මහින්ද පිලේ පොදු අපේක්ෂක ලෙස ගෝඨාභය රාජපක්ෂ දැනටමත් සූදානම්වී මතුව තිබෙන පසුබිමක දින 150 කට නොඅඩු තරග පූර්ව මැතිවරණ කාලය තුළ ගෝඨාට තරග කළ හැකි අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ අභියෝගය එජා පෙරමුණට තිබූ අතර ඒ සඳහා මේ දක්වා ඉදිරිපත්වී තිබුණ නම් අතර සිටියේ සජිත්,කරු,රනිල් ආදීන්ය. නමුත් මෑතකාලයේ පවත්නා වටපිටාව තුළ දේශපාලනය කරමින් සිටින අය ගැන මහජන කළකිරීම උත්සන්නව පැවතීම නිසා ගෝඨාභයගේ ඉදිරිපත්වීමෙන් පෙන්නුම් කර ඇත්තේ දේශපාලනයට සම්බන්ධ නැති නමුත් වෙනත් පැතිවලින් සංවිධාන ශක්තියට නායකත්වයට ගැළපෙන පුද්ගලයෙකුට රටේ ඉල්ලුමක් සාදා ගැනීමයි. මෙම සුදුසුකම ධම්මික පෙරේරා සතු විය හැකි බවට එජාපය කල්පනා කර ඇති බවත් මෙයින් පෙන්නුම් කරයි. ධම්මික පෙරේරා යනු ලංකාවේ කොටස් වෙළෙඳපොළ තුළ විශාල බලයක් හිමි පුද්ගලයෙකි.

ධම්මික දේශපාලනයට සෘජුව සම්බන්ධවී නැතත් පසුගිය මහින්ද රාජපක්ෂ සමයේත් වත්මන් රජය සමයේත් විවිධ ආකාරයෙන් සේවා සලසන්නට ඔහු ඉදිරිපත් විය. පුද්ගල අභිවෘද්ධිය ඇති කිරීම සම්බන්ධ දේශන කිහිපයක් පවත්වා ඇති ඔහුගේ අදහස් දැනගැනීමට ව්‍යාපාරික ප්‍රජාව තුළ විශේෂ කැමැත්තක් තිබේ. ව්‍යාපාර කළමනාකරණයට ඔහු දක්වන දක්ෂතා රටේ ආර්ථික සංවර්ධනයට දායක කරගන්නට හැකිවේ නම් ඉක්මනින් රට දියුණු වනු ඇත යන්න ධම්මික මතුකිරීමේ ‘සුබවාදී ප්‍රචාරණ’ උපායයි. ධම්මික පෙරේරා දේශපාලනයට ඒවිද නැද්ද යන්න ගැන දෙගිඩියාවෙන් යුතු පුවත් මාධ්‍ය ඔස්සේ සංසරණයවූ අතර ඔහු කියා සිටියේ තමා දේශපාලනයට සෘජුව දායක නොවන බවයි. නමුත් තමාට අමාත්‍යංශ ලේකම වරයෙකු ලෙස එක්වී යම් දෙයක් රටට කළ හැකි බව පෙන්වාදී තිබුණි. නමුත් වාර්තාවන ආකාරයට රනිල් ධම්මික හමුවී කළ ඉල්ලීමට ඔහුගෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇත. තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ජයග්‍රහණය සම්බන්ධයෙන් කිසිදු සැකයක් නොමැති බවත් තමන්ට ව්‍යාපාරික ප්‍රජාව, මාධ්‍ය සියල්ලන්ගේම සහයෝගය ගතහැකි බවත්, මෛත්‍රීපාල සිරිසේනට ගෞරවාන්විත සමුගැනීමක් ලබාදීමට හැකි බවත් ඔහු පවසා ඇතැයි වාර්තාවේ.