December 5, 2021

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

ක්‍රිස් ගේල් අවසන් වරට රතිඤ්ඤා පුපුරුවන්න සැරසෙයි

තම අවසන් ලෝක කුසලාන තරගාවලියේදී ශාරීරික යෝග්‍යතාවට වඩා වැඩි අවධානයක් තම මානසික ඒකාග්‍රතාව නිසි ලෙස රඳවා ගැනීම කෙරෙහි යොමු කරන බව බටහිර ඉන්දීය කොදෙව් උප නායක ක්‍රිස් ගේල් පවසා තිබේ. අයර්ලන්තයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය අතරතුර පැවැති පුහුණු සැසියකින් අනතුරුව ලෝක කුසලාන තරගාවලිය සඳහා තම සූදානම සම්බන්ධයෙන් අයර්ලන්ත මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පවසා ඇති බටහිර ඉන්දීය කොදෙව් උප නායකයා “මේ දිනවල වැඩි විවේකයක් ලබා ගැනීමට මම උත්සාහ කරනවා. ඒ වගේම ව්‍යායාමවල හොඳින් යෙදෙමින් ලෝක කුසලාන තරගාවලිය සඳහා සුවදායක ලෙස සහභාගි වීම සඳහා වෙනදාට වඩා සම්බාහනයන් සිදුකරගන්නවා. ක්‍රීඩාංගණය තුළ රැඳී සිටීමේදී මාගේ ශරීරයට අවශ්‍ය කුමක්ද යන්න ගැන හොඳ අවබෝධයක් මා හට තිබෙනවා.  වයස්ගත වීම වැළැක්විය නොහැකි කරුණක් වුණත් එවැනි තත්ත්වයක් යටතේ මානසික තත්ත්වය වැඩිකර ගැනීමේ වැදගත්කම මා හඳුනාගෙන තිබෙනවා.

එම නිසා මම වැඩි අවධානයක් යොමු කළ යුත්තේ ශාරීරික යෝග්‍යතාවට නොව මානසික ඒකාග්‍රතාවන නිසි පරිදි පවත්වා ගැනීමටයි. කෙසේ වෙතත් පසුගිය මාස කිහිපය තුළ මාගේ ශාරීරික යෝග්‍යතාව නිසි ලෙස පවත්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් කටයුතු කළා.” යනුවෙන් පවසා ඇත. තවද තම අවසන් ලෝක කුසලාන තරගාවලියේදී තම ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් ජයග්‍රහණයකින් මෙම තරගාවලිය අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද පවසා ඇති ක්‍රිස් ගේල් “ලෝක කුසලානය වැනි තරගාවලිවලදී මා ඉතිහාසය පුරා හොඳින් ලකුණු රැස් කර තිබෙනවා. මේ වන විට මම පන්දුවට පහරදෙන ආකාරය සම්බන්ධයෙන් මම සතුටට පත් වන අතරම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී පවත්වා ගත් රිද්මය ලෝක කුසලානය තුළත් පවත්වා ගත හැකි බව මට විශ්වාසයි. අවංකවම මේ මාගේ අවසන් ලෝක කුසලාන තරගාවලියයි. එම නිසා මාගේ ආදරණීය ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් ජයග්‍රහණයකින් මෙම තරගාවලිය අවසන් කිරීම මාගේ අරමුණ වී තිබෙනවා.” යනුවෙන් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත.