December 5, 2021

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

ලෝක කුසලානෙට යන ඉන්දියා කණ්ඩායම ගැන කපිල් දේව් කියපු දේ, විශාල පෙරැළියක්

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අතුරින් වඩාත්ම සමබර කණ්ඩායම ඉන්දියාව බවත් ඔවුන් මෙම තරගාවලියේදී විශාල පෙරැළියක් සිදු කරනු ඇති බව තම විශ්වාසය බවත් හිටපු ඉන්දීය නායක කපිල් දේව් පවසා ඇත. ඉන්දියාවේ පැවැති වෙළෙඳ ප්‍රවර්ධන වැඩසටහනක් සමඟ එක්වෙමින් හිටපු ඉන්දීය නායකයා පවසා ඇත්තේ මෙවැන්නකි. “වර්තමාන ඉන්දීය කණ්ඩායම දක්ෂ නවක ක්‍රීඩකයන්ගෙන් සහ අත්දැකීම්වලින් පරිපූර්ණ ඉතා හොඳින් දක්ෂතා අතර සිටින ජේ‍යෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් සමන්විතයි. ඒ වගේම ලෝක කුසලානය වැනි තියුණු වඩාත් තරගකාරීත්වයකින් යුක්ත තරගාවලියක් සඳහා අවශ්‍ය නිවැරදි සමබරතාව මම ඒ කණ්ඩායම තුළ දකිනවා. එමෙන්ම විරාත් කෝලිගේ නායකත්වය තුළින් එය තවත් ශක්තිමත් වන අතරම ඔහුගේ නායකත්වය යටතේ ඉන්දීය පිල මෙම තරගාවලියේදී විශාල පෙරැළියක් සිදු කරන බව මට විශ්වාසයි.”

ඉන්දීය පිල සම්බන්ධයෙන් එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති කපිල් දේව්, “පසුගිය වසර කිහිපයේදී ලෝක ක්‍රිකට් ක්‍රීඩාව විශාල පරිවර්තනයකට ලක්වුණු බව මගේ හැඟීමයි. ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුව ගැන සලකා බැලීමේදී මෙවැනි තරගාවලියකට ඉතාමත් ගැළපෙන පිතිකරුවන් සිටින කණ්ඩායමක් ඉන්දියාව සතු වන අතරම ඔවුන් තම වගකීම් නිසි අයුරින් ඉටු කිරීමට ප්‍රමාණවත් දක්ෂතාවලින් සමන්විත බව පසුගිය කාලය තුළ ඔවුන් පෙන්වා දුන්නා. එමෙන්ම මෙම ඉන්දීය සංචිතයේ සිටින වේගපන්දු යවන්නන් ලොව විශිෂ්ටතම පිතිකරුවන්ගෙන් සමන්විත කණ්ඩායමක පිතිකරණ ලැයිස්තුවකට වුවද විශාල අභියෝගයක් එල්ල කළ හැකි බව මගේ මතයයි.” යනුවෙන්ද ප්‍රකාශ කර ඇත.