September 24, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

පුරාවස්තු හොරෙන් ගොඩ අරන්

කාශ්‍යප රජුගේ දියණියන් දෙදෙනාගේ ආභරණ සහිත වස්තුව කිසියම් පිරිසක් මහපොළොව හාරා මීට දින කීපයකට ඉහතදී රැගෙන ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු කියති. සීගිරිය අභය භූමියට අයත් දියකැපිල්ල කොස්ගහාල්ල ප්‍රදේශයේ සීගිරි අභය භූමියට අයත් වනයක් මැද අඩි 20ක පමණ ගැඹුරට වළක් හාරා ගල් පෙට්ටියක් කඩා මේ ආභරණ තොග රැගෙන ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු සීගිරිය වනජීවී කාර්යාලයට දැනුම් දී තිබේ. ඒ අනුව සීගිරිය වනජීවී කාර්යාලයේ නිලධාරීහු 03දා සීගිරිය දියකැපිල්ල ප්‍රදේශයේ සිට කිලෝමීටර් තුනක පමණ දුරක පා ගමනේ ගොස් කැලෑබද ප්‍රදේශයේ මේ ස්ථානය සොයා මෙහෙයුම් දියත් කළහ. මෙහිදී දැකගැනීමට හැකි වූයේ විශාල ගසක් කපා එම ගස යට මහපොළොවට අඩි පහළොවක් විස්සක් පමණ ගැඹුරට හාරා මහපොළොව ඇතුළත විශාල ගල් කුට්ටි ඉවත්කොට තිබෙන ආකාරයයි.

ආරක්ෂිත නූල් ඇද මල් පහන් දල්වා තිබෙන ආකාරයත් එමෙන්ම ඉපැරැණි යකඩ උණු කර ඇති ද්‍රව්‍යයත් එම ස්ථානයේ තිබී හමුවී තිබේ. මේ අඩි 20ක පමණ ගැඹුරු වළේ ගොඩදැමූ පස් සමඟ ඉපැරැණි ගඩොල්, වළං කටු රැසක් දැකගැනීමට හැකි වූ බව සීගිරිය වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක සී.එම්. බණ්ඩාරනායක මහතා පැවැසීය. කිසියම් පිරිසක් ඉතා සූක්ෂ්ම ලෙස දින ගණනාවක් මේ රක්ෂිතයේ රැඳී සිටිමින් මෙය සිදු කොට තිබෙන බවත් ගම්මානයේ ජනතාව මේ පිළිබඳව කතාබහට ලක්වී පසුව ඉන් කීපදෙනකු සීගිරි වනජීවී කාර්යාලද මේ බව දැන්වූ බවත් හෙතෙම සඳහන් කළේය.

දියකැපිල්ල ප්‍රදේශයේ සංචාරයක නිරත අපට ගම්මුන්ගෙන් කරුණු විමසා සිටිද්දී කියා සිටියේ සීගිරි කාශ්‍යප රජුගේ දියණියන් දෙදෙනා වන උත්පලා සහ බෝධි යන දෙදෙනාගේ ආභරණ මේ ස්ථානයේ තිබී නිදන් හොරුන් විසින් රැගෙන ගිය බවට ප්‍රදේශවාසීන්ගේ කතා බහට ලක්ව තිබෙන බවය. කාශ්‍යප රජුගේ දියණියන් දෙදෙනා වන උත්පලා සහ බෝධි වෙනත් ප්‍රදේශයක සඟවා සීගිරි කාශ්‍යප රජු සීගිරියේ දියකැපිල්ල ප්‍රදේශයේ සැඟවී සිටි බවටද අතීතයේ තොරතුරු සඳන්ව ඇත.  උපුටා ගැනීම – මවුබිම