May 17, 2021

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

කෝලිට මල පනියි! මාලිංගගේ අවසන් ඕවරයේ නිපන්දුවක් නිසා අයිපිඑල් පිටිය කැළඹෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 7 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම අතර බැංග්ලෝර්හිදී ඊයේ (28 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 6 ක තියුණු ජයක් අත්කර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 188 ක ඉලක්කයක් හඹාගිය බැංග්ලෝර් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 181 ක් පමණි. මුම්බායි කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ ජස්ප්‍රීට් බුම්රා කඩුලු 3 ක් දවාගැනීමට සමත් වූයේ සිය ඕවර 4 ලකුණු 20 කට සීමා කරමිනි. තරගය ජය ගැනීම සඳහා බැංග්ලෝර් පිතිකරුවන්ට ලසිත් මාලිංග යැවූ අවසන් ඕවරයේදී ලකුණු 17 ක් රැස්කිරීමට සිදුවූ නමුත් එහිදී ඔවුන්ට රැස්කරගත හැකි වූයේ ලකුණු 11 ක් පමණි.

කෙසේ වෙතත් මාලිංග යැවූ අවසන් පන්දුව නිපන්දුවක් වුවත් එය විනිසුරුවරයන් විසින් සටහන් නොකිරීම බොහෝ දෙනගේ කාතබහට ලක්විය.ඒ පිළිබඳව අදහස් දැක්වූ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායමේ නායක විරාත් කෝලි සඳහන් කළේ මෙය අන්තර් සමාජ ක්‍රීඩා තරඟයක් නොවන අයිපිඑල් තරඟයක් බැවින් විනිසුරුවරයන් මීට වඩා සැළකිලිමත් විය යුතු බවයි.එය තරඟයේ අවසාන පන්දුව බවත් විනිසුරුවන් ඇස් ඇරගෙන සිටිය යුතු බවත් ඔහු සඳහන් කළේය. මෙම තරගයේදී ප්‍රතිවාදීන්ට ලකුණු 47 ක් ලබාදුන් මාලිංගට කඩුලු දවාගැනීමට නොහැකි වූ අතර අවස්ථා දෙකකදී බැංගලෝර් පිතිකරුවන් ලබාදුන් උඩ පන්දු මුම්බායි පන්දු රකින්නන් අතින් ගිළිහී ගියේය.

වේගවත් පිතිහරඹයක නිතර වූ ඒ.බී. ඩිවිලියස් පන්දු 41 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 70 ක් රැස්කළද, ඔහුට බැංගලෝර් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. නායක විරාට් කෝලි පන්දු 32 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 46 ක් ලබා සිටියදී අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේය. පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 187 ක් ලබාගත් අතර මුම්බායි කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් නායක රෝහිත් ශර්මා (48) සහ ක්වින්ටින් ඩි’කොක් (23) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූහ.