October 2, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

පන්නල පල්ලියවත්තේ, මහ රෑට හොල්මන් කරන ගැහැණියක් ගැන ඇඟ කිළිපොලා යන කතාවක් මෙන්න

පන්නල, කුලියාපිටිය දෙසින් අක්කර 50 ඒ කෙළවර පල්ලිය වත්ත. පල්ලිය වත්තේ තමයි මේ කලබැගෑනිය. පිරිස් නිවෙස් අතහැර ගොසින්. කරුණු කාරණා දන්න අය කියන්නේ ඔවුන් ඇසින් දුටු සාක්‍ෂිකරුවන් කියා. දූවිල්ල පිරුණු සෝමාරි මාවතේ අපි ඒ ඉලව් ගෙදර සොයාගෙන යනවා. මරණය අහක් කරපු ගෙදරක් නම් පල්ලිය වත්තේ පැත්තේ සොයාගන්න අමාරුයි. ගමන්මඟ විමසන විට මිනිසුන් එහෙම පිළිතුරු දෙනවා. අක්කර 50 පසුකරගෙන අපි ඉදිරියට ඇදෙද්දී පාර දෙපැත්තේ තියෙන්නේ මහ විශාල ගෙවල් ‍දොරවල් විතරයි. ඒවායේ මිනිස්සු නැති වග බොහෝම පැහැදිලිව තේරුම් බේරුම් වෙනවා. නිස්කලංකයි. ඒත් මොකක්දෝ මන්දා නුහුරුතාවක්, අද්භූත භාවයක් මේ පළාතට අනන්‍යයි කියලා හිතට දැනෙන්න ගන්නවා. පොල් ගස් කරටිවලින් මැළවෙලා. හේබාලා. ඉලව් ගෙදර ගැන විස්තර මඟ දෙපස ඉන්න අයගෙන් අපි අහනවා. බහුතරයක් අෑයෝ මුසල්මානුවෝ. කිහිප දෙනෙක් විතරක් ඒ අය දන්න විදියට ඉලව් ගෙදර ගැන විස්තර අපට කියනවා.

තෝත්තරකාරයෙක් ඇවිල්ලා මතුරන්න ගත්තාම එක පාරම තෙල් කුප්පි තුනක් නැති වුණාලු. ඒ ගෙදර හැමෝටම ආරූඪයක් තියෙනවාලු. ඒ තෙල් කුප්පි තුනේ තෙල් ගෙදර අයට බොන්න දුන්නා. එතැනින් පස්සේ සිද්ධ වුණේ මොකක්ද කියලා ඒ අය දන්නේ නැතිලු. කොහොම හරි අන්තිමට ඒ ගෙදර වැඩිහිටි අම්මා දිව එළියට දාගෙන මැරිලා වැටිලා හිටියාලු. මේක දැක්ක අනෙක් අය ගෙවල් අතඇරලා පැනලා ගියාලු. කොහොම හරි මරණයක් වෙලා තියෙනවා. ඒ මරණයට අදාළ සිදුවීම තමයි අද්භූත. දන්නා අය කවුරුවත් ඒක ගැන හරි දෙයක් කියන්නේ නැහැ. හැමෝම දන්නේ තෝත්තරකාරයෙක් ඇවිල්ලා මතුරන්න ගත්තට පස්සේ ඒකෙ ප්‍රතිඵලය විදියට ගෙදර හැමෝම ආවේශ වෙලා, අන්තිමට ඒ ගෙදර හිටිය වයසක අම්මා මැරිලා ගියා කියලා විතරයි.

ඒ ගෑනු කෙනා අවුරුදු 20ක විතරක ඉඳලා ආරූඪයකින් වැඩ කරන කෙනෙක්ලු. හැමදාම එයාට වැහෙනවා කියන්නේ ඥාතියෙක්. ඥාතියෙක් කිව්වට ඒ ගෑනු කෙනාගේ මීට වසර 20කට 30කට කලින් මැරුණු මනුස්සයාලු. කොහොම වුණත් එම ආරූඪ කතාව එක්ක ඒ ගෙවල් පැත්තේ කවුරුවත් යන්නෙ නැහැ. මිනිස්සු බයයි. මොකද අද්භූත දිවවල් එක්ක මේ ගෙදර අය සම්බන්ධයි කියලා හැමෝම කියන්නේ. ඔය ගෙදර ගෑනු කෙනාට වැහෙන ආරූඩෙ සමනය කරන්න පුළුවන් ඔය අහල පහළ ඉන්න පන්සලක හාමුදුරුවෝ කෙනෙක්ට කියලා මිනිස්සු කියනවා. හැබැයි ඒ මනුස්සයා බොහොම සමාජශීලී. සමිති සමාගම්වල වැඩ කරනවා. මේ පල්ලිය වත්ත පැත්තේ එයාව අඳුරන්නේ නැති කෙනෙක් නෑ.

මේ මිනිස්සු මේ පල්ලියවත්ත පදිංචියට ආවේ අවුරුදු 20කට 30කට කලින්. කලින් ඉඳලා තියෙන්නේ කුලියාපිටියේ. ඔය ගෑනු කෙනාට එයාගේ මහත්තයා වැහෙනවා. ඒ වැහුණයින් පස්සේ ගෑනු කෙනා එයාගේ අම්මා තාත්තා එක්ක ඉන්නේ කේන්තියෙන්. ඔහොම ප්‍රශ්නයක් තමයි එතැන තිබිලා තියෙන්නේ. ඒ අම්මා දිව එළියට දාගෙන මැරිලා වැටිලා කියලයි හැමෝම කියන්නේ. ඒ මරණයට ගොඩක් අය බය වුණා. ඉලව් ගෙදර අහක් කරලා දැම්මට පස්සේ ඒ අම්මා සුදු ඇඳගෙන පල්ලියවත්ත පැත්තේ රාත්‍රියට හොල්මන් කරනවා කියලා මිනිස්සු කියනවා. ඒ පළාතේ යන්නැති අයත් ඉන්නවා. අඩුම ඒ ගෙවල්වලට අවට ගෙවල්වල මිනිස්සු පවා මළගෙදර ගිහිල්ලා නැහැ. යන්න බයයි. ඒක තමයි ඇත්ත කතාව.

මිනිස්සු එහෙම කියනවා. සමාජය සකස් වෙලා තියෙන්නේ මෙහෙම කියන මිනිසුන්ගෙන් ආපහු ගත්තාම සමාජය කියන්නේ එක එක බුද්ධි මට්ටම්වල එකතුවක්. එහෙම නැත්නම් කුලකයක්. ඒ කුලකය විසමයි. අදහස් උදහස් එහෙමත් එහෙමයි. හැබැයි ඒ කුලකය ඇතුළේ තියෙන හැම අදහසක්ම අපට බැහැර කරන්න බැහැ. එහෙම බැහැර කරන්න බැරි තරම් විද්‍යාවක් අපට හමු වෙලා නැහැ. බටහිර විද්‍යාවේ තියෙන මතිමතාන්තර වුණත් ප්‍රශ්නකාරියි. අපට නොදැනෙන නොපෙනෙන යමක් ගැන පැහැදිලි අදහසකට පැමිණීම බොහොම අසීරුයි. මේ මිනිස් කුලකය අපට එය කියලා දෙන්නේ එහෙම හැඩ රටාවක් ලෝකය තුළ තියෙනවා කියලා. මට හොයා ගන්න වුවමනායි ඇත්ත කතාව. ඇත්තට කතාව හොයා ගන්න නම් මේ කතාවේ අවශේෂ චරිතවලට වඩා පාත්‍ර වර්ගයාට මුල් තැනක් දිය යුතුයි.

මට වැදගත් නැහැ පල්ලියවත්තේ හොල්මන් තියෙන එක. මට වැදගත් නැහැ ඒ හොල්මන්වලට මිනිස්සු බය වුණාද කියන එක. ඒ හින්දා මම මේ කතාවේ ප්‍රධාන චරිතය හොයාගෙන යනවා. සූක්‍ෂ්ම ශරීරය සම්පූර්ණයෙන් දාලා ගියාද කියන එකත් මට වැදගත් නැහැ. ඒ කියන්නේ මම විද්‍යාවේ පැටලිලා නැහැ. අවිද්‍යාවේ එල්ලෙන්නෙත් නැහැ. විද්‍යාත්මක විදියට කියන (රිදී හුය) මට වැඩක් නැහැ. අදාළ චරිතය ජීවත් වන ගෙදර අපූරු ගේ පොඩ්ඩ. මියගිය අම්මා කුලියාපිටියෙ තියෙන එයාගේ ඉඩකඩම් විකුණලා දාලා පල්ලියවත්තට ඇවිල්ලා හදාගත්ත ගේ පොඩ්ඩ. රතුම රතු ලොවි ගහක් ගේ පාමුල.

පරිසරය ගුප්තයි. මධ්‍යහ්න හින්දා වෙන්න ඇති. ඒත් ඒකට මම කැමැතියි. මම ගෙට ගොඩ වෙනවා. බෙල්ල වටේ සුදු පාට නූල් ගොඩක් එල්ල ගත්ත මැදිවියේ ගැහැනියක් මට මුණගැහෙනවා. (ඇය මම නෙලුම් ලෙස පසුව හඳුනාගන්නවා.) ආගන්තුක සත්කාර එමටයි. ඇය මට ඇයව හඳුන්වා දෙන්නේ නෙලුම් ලෙස. නෙලුම් ගාව තියෙන්නේ සත්‍ය හා සක්‍රමණතාව අතර කතාවක්. කතාව අගිස්සෙදි මම තේරුම් ගන්නේ එහෙම. නෙලුම්ගේ කතාවේ කොටු ගහලා ඉරි ඇඳලා රාමුවකට ගන්න පුළුවන් කොටසක් තියෙනවා. ඒ කොටස සර්ව සම්පූර්ණයෙන්ම අද්භූතයි. ඒ අද්භූත කොටස දැනගන්න අපි නෙලුම්ට ඇහුම්කන් දිය යුතුයි. වදෙන් පොරෙන් නෙලුම් එයාගේ අදහස් මෙහෙම ගොනු කරනවා.

අපේ තාත්තා මීට මාස 7කට කලින් මැරුණා. තාත්තා මැරුණාට පස්සේ එයාගේ අවසන් කටයුතු කළේ මේ ගෙදර. අවසන් කටයුතු කළාට පස්සේ මේ ගෙදර කලින් කරපු ආරක්‍ෂාවලින් වැඩක් නැහැ කියලා මට තේරුම් ගියා. ඒ හින්දා මම අලුත් ආරක්‍ෂාවක් කරන්න බලාගෙන හිටියේ. අපේ ගෙට අල්ලපු ගෙදර ආරක්‍ෂා කරන්න කට්ටඩි මහත්තයෙක් ආවා. මං එයාට කිව්වා අපේ ගෙදරත් ආරක්‍ෂා කරලා දෙන්න කියලා. එයා ඇවිල්ලා අපේ ගෙදර ආරක්‍ෂා කළා. ගේ වටේ වැලි ඉහලා දෙහි කපලා අපේ කරේ නූල් බැන්දා. අම්මටත් ඒක කළා. දැනට අවුරුදු 30කට කලින් විතර ඉඳලා මට මියගිය ඥාතියෙක්ගේ බලපෑමක් තියෙනවා. එයා මගේ මහත්තයා. මියගිය මගේ අම්මාගේ නම එස්.කේ. ඥානවතී. තාත්තා ඩබ්ලිව්. සමරකෝන්. අම්මයි, තාත්තයි දෙන්නම අවුරුදු ගණනාවක් මම ගාව හිටියේ.

ඒ දෙන්නා බොහොම හොඳින් පවුල් ජීවිතය ගත කරපු දෙන්නෙක්. අම්මා නැතිව තාත්තා කොහෙවත් යන්නේ නැහැ. එහෙමයි ඒ අය ජීවත් වුණේ. ඒ දෙන්න එහෙම ජීවත් වෙච්ච එක අපට ආදර්ශයක්. මම කියන්නේ ඒකෙන් අපි බොහොම ආදර්ශවත් විදියට ජීවත් වුණු උදවිය කියන එක. අපි සිදුවීමට යමු. අර කට්ටඩි මහත්තයා ඇවිල්ලා නූල් බැඳලා තෝත්තර වැඩ ටික කරලා ගියාට පස්සේ මගේ ආවේශය දරුණු වුණා. ඔය අතරතුර තමයි අම්මා අසනීප වෙලා තියෙන්නේ. අම්මා පුටුව උඩ වැටිලා ඉන්නවා මම දැක්කා. හැබැයි මට ඒ වෙලාවේ හොඳ සිහියක් තිබ්බේ. සමහර විට මම විඳින දුක් වේදනා දැකලා අම්මා කලබල වෙන්න ඇති. මම මගේ අම්මාව අවුරුදු 15ක් තිස්සේ බලාකියා ගත්තා. මිනිස්සු කියන විදියට අම්මාව මරලා දාන්න වුවමනාවක් නැහැ. අනෙක මට ඇති වන ආවේශ වුණත් මහ නපුරු එකක් නෙවෙයි. සිහියයි, අවසිහියයි අතර තමයි මම ඒ වෙලාවට ජීවත් වෙන්නේ. මම බුදුගුණ විශ්වාස කරන කෙනෙක්. අවුරුදු 15ක් තිස්සේ එක එක රටවල ගෘහ සේවිකාවක් විදියට සේවය කරපු කෙනෙක්. මම මුලින්ම ගියේ කටාර් රටට. එහිදිත් මට මේ ආවේශය වැලඳුණා.

මම ලෙබනන්වල ඉද්දී මට මේ ආවේශය ආයි පාරක් වැලඳුණා. ලෙබනන්වල මම හිටියේ කතෝලික පවුලක් එක්ක. මගේ ආවේශය දරුණු වෙලාවට ඒ අය මට කුරුසයක් අතට දෙනවා. එතකොට මට හොඳ වෙනවා. මට වැලඳිලා තියෙන ආවේශයට මම කැමැතියි මොකද? ඒ මගේ මහත්තයා නිසා. මහත්තයා මැරෙද්දී මගේ අතේ රුපියල් 10ක්වත් තිබුණේ නැහැ. ඒත් මම මේ ආවේශය එක්ක මේ ගෙවල් ‍දොරවල් හදාගෙන අම්මා තාත්තට බේත් හේත් කරමින් උසස් පෙළ කරනකම් මගේ දරුවෝ දෙන්නව හදාගත්තා. මම හිතන්නේ මට ඒකට උදවු කළේ මගේ මහත්තයා කියලා. ඒ හින්දා මේ ආවේශයට මම කැමැතියි. ආදරෙයි. එච්චරයි මට කියන්න තියෙන්නේ. මිනිස්සු කියන කතාවලින් මට පිළිතුරු දෙන්න බැරි තැනකට තියෙන්නේ. මට ආවේශ වුණු වෙලාවේ සිද්ධ වුණේ මොකක්ද කියන එකට විතරයි. ඇත්තටම මම දන්නේ නැහැ. හැබැයි මට මගේ අම්මව මරන්න වුවමනාවක් නැහැ. අම්මව මුලින්ම අපි අරන් ගියේ දඹදෙණිය රෝහලට. දඹදෙණිය රෝහලට අපි අරන් යනකොට අම්මා මැරිලා. ඊට පස්සේ කුලියාපිටියට අරන් ගියා. එහිදි තමයි මරණ පරීක්‍ෂණ තිබ්බේ. අම්මාගේ සිරුර කපලා කොටලා බලපු වෛද්‍යවරු කිව්වේ අම්මා හෘදයාබාධයකින් මිය ගියේ කියලා.

නෙලුම් එහෙම කියනවා. නෙලුම්ගේ ඇස් අග කඳුළු බිඳු. ඒ මවු සෙනෙහස හින්දා වෙන්න ඇති. නෙලුම් අහල ඉන්නේ එයාගේ වැඩිමහල් සහෝදරයා. සහෝදරයා මෙහෙම කියනවා. මට කෝල් කළායින් පස්සේ මම ගෙදර ආවා. අම්මා අසනීප වෙලා පුටුව උඩ වැටිලා හිටියේ. අපි ඔක්කොම එකතු වෙලා හොස්පිට්ල් එකට එක්කරගෙන ගියා. වෛද්‍ය පරීක්‍ෂණයක් කළා. අම්මා මැරිලා තියෙන්නේ හෘදයාබාධයකින්. එතැන සිද්ධ වුණේ මොකක්ද කියලා මම දන්නේ නැහැ. මිනිස්සු කියනවා එක එක කතා. මේ පළාතේ දැන් අම්මා හොල්මන් කරනවා කියලා මිනිස්සු කියනවා. ඒ කිසිම දෙයක් ගැන මට අදහසක් නැහැ. ඒත් මම දන්නේ මගේ අම්මා මැරුණා කියන එක විතරයි. මේ මරණය අපැහැදිලි තැන තමයි මගේ නංගී ආවේශ වෙලා හිටිය වෙලාවෙ. එතැන මොකක්ද වුණේ කියලා කියන්න එයාවත් දන්නේ නැහැ. නෙලුම් හැඟීම්බරයි. තවදුරටත් මේ මරණය පිළිබඳව ඇය සමඟ කතාබහ කළ යුතුයි. එවිටයි ස‍ෙදාස් තැන් ඇතොත් නි‍දොස් වන්නේ. ඒ නිසා මම නෙලුම්ගෙන් බරපතළ නොවන විදියට මෙහෙම ප්‍රශ්න ටිකක් ඇහුවා.

මම – මරණය සිද්ධ වෙන වෙලාවේ මොකක්ද වුණේ කියලා ඔයාට මතකයක් නැද්ද?  නෙලුම් – නැහැ. මට අපැහැදිලියි. මම හිටියේ ආවේශයෙන්. ආවේශය කියන්නේ මම දරුණු විදියට හැසිරෙනවා කියන එක නෙවෙයි. හැබැයි ඒ වෙලාවේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා මම දන්නේ නැහැ. මම අම්මව හොස්පිට්ල් එක්කර ගෙන ගිහින් තියෙන්නේ අම්මව උකුල උඩ තියාගෙන. එතකොටත් අම්මා මැරිලා. හැබැයි අම්මා මැරිලා කියලා මම පිළිගෙනම නැහැ. හොස්පිට්ල් එකේදී මම හැසිරිලා තියෙන්නේ අම්මා ජීවතුන් අතර ඉන්නවා කියලා හිතාගෙන.

මම – ඔබ මානසික වෛද්‍යවරයෙක් හමු වී තිබෙනවාද?  නෙලුම් – නැහැ මම කවදාකවත් වෛද්‍යවරයෙක් හමුවෙලා නැහැ. හමු වෙන්න තරම් වුවමනාවක් මට තිබිලත් නැහැ.

මම – දැන් මේ අහල පහළ ගෙවල්වල මිනිස්සු ගෙවල් අතහැරලා ගිහිල්ලා මේ සිද්ධිය නිසා. ගමම අද්භූතයි. ඔයාට තේරෙනවානේ… ඒ මිනිසුන්ගේ හැසිරීම ගැන ඔයා දකින්නේ කොහොමද?  නෙලුම් – ඒකෙන් මට වැඩක් නැහැ. මිනිස්සු කියලා අපේ අම්මා හොල්මන් කරනවා කියලා. හැබැයි මගේ මූණට කවුරුවත් ඇවිල්ලා සිද්ධ වුණේ මොකක්ද කියලා අහන්නේ නැහැ. මගේ පවුලේ අයවත් අහන්නේ නැහැ. ඔයා විතරයි ඇහැව්වේ. මං ඒකට කැමැතියි. මිනිස්සු කියපු කතාවලට හේතු මොනවද කියලා මට වැදගත් නැහැ. මොකද ඒ වෙලාවේ වුණේ මොකක්ද කියලා මම දන්නේ නැති හින්දා. මම දහම් පාසලක ගුරුවරියක්. අම්මා – තාත්තගේ ආදරය විශ්වාස කරපු කෙනෙක්. මම දන්නේ එච්චරයි.

මම – හරි, මිනිස්සු කොහොම කිව්වත් කමක් නෑ කියමුකෝ. හැබැයි ඔයා ඔය කියන ඔයාගේ මතකයෙන් ගිලිහුණු කොටස නේද මේ හොල්මන ගැන මතකයක් හදලා තියෙන්නේ. ඒක පුරවලා තියෙන්නේ මිනිස්සු. ඒ අය ඇත්තටම කියනවා මේක හරි අද්භූතයි කියලා. මම මෙහෙම ප්‍රශ්නයක් අහන එක ගැන මම දුක්වෙනවා. මිනිස්සු කියන කාරණා මම ලියනවා. ඔයාටත් ඒක කියවන්න පුළුවන් වෙයි. හැබැයි මට ඔයා ඉස්සරහා දැන් කියන්න බැහැ. මම අහන්නේ මිනිස්සු කියන එක කතාවකටත් පදනමක් නැද්ද?  නෙලුම් – නැහැ.

සියල්ල සිදුවීම්ය. නොසිදුවීම් මෙහි නොමැත. ජීවිතය එලෙසය. මරණයට ආසන්න අත්දැකීම් කවර තත්ත්වයක් පිළිබඳ හෝ සටහනක් සොයා ගත නොහැකිය. ඒ ඇය එසේත් නොමැති නම් සිදුවීමේ මුල් අයිතිකාරිය මරණය වැලඳගෙන ඇති නිසාය. නමුත් ඇය ජීවතුන් අතරය. නොමළ මිනිසුන් අතර ඇය ජීවතුන් අතරය. ඔවුන් කියන්නේ මේ දිනවල පල්ලියවත්තේ මළ මිනිසෙක් තැන තැන ඇවිදින වගය.