September 25, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

දික්වැල්ල ජාමෙ බේරයි – දිනය නිමා වෙද්දී කැන්ගරුවන් ඉදිරියෙන්!

සංචාරක ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර බ්‍රිස්බේන්හිදී දිවා-රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (25 වැනිදා) දිවා ආහාරය සඳහා තරගය නතර කරනවට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින ඕස්ට්‍රේලියාව කඩුලු 5 ක් දැවී ලකුණු 249 ක් රැස්කිරීමට සමත්විය. ඒ අනුව ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 105 ක් ඉදිරියෙන් සිටීමට ඕස්ට්‍රේලියාව සමත්විය. ට්‍රැවිස් හෙඞ් ලකුණු 71 ක් රැස්කරමින් එක් අන්තයක කඩුල්ල ආරක්ෂාකර ගනිමින් රැඳී සිටින අතර අනෙක් අන්තයේ රැඳී සිටින කර්ටිස් පැටර්සන් තවමත් ලකුණු රැස්කිරීම ආරම්භකර නොමැත.

ලකුණු 82 කට කඩුලු 4 ක් දැවී තිබියදී පස්වැනි කඩුල්ල සඳහා එක්වූ මානස් ලබුස්චේන් සහ ට්‍රැවිස් හෙඞ් 166 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ඕස්ට්‍රේලියානු ඉනිම ගොඩනැගීමට ඔවුන් සමත්වූහ. සිවුවැනි ටෙස්ට් තරගයට සහභාගිවන මානස් ලබුස්චේන් සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය රැස්කිරීමට සමත්වූ අතර ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ ළහිරු තිරිමාන්නට උඩපන්දුවක් දෙමින් පිටියෙන් ඉවත්වන විට ලකුණු 81 ක් රැස්කර සිටියේය. පන්දු 150 කට මුහුණදුන් ඔහුගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය.

හත්වැනි ටෙස්ට් තරගයට සහභාගිවන ට්‍රැවිස් හෙඞ් සිවුවැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්වූ අතර ඉනිමකදී රැස්කළ ඉහළම ලකුණූ සංඛ්‍යාව පසුකිරීමට ඔහුට අවශ්‍යව ඇත්තේ තවත් ලකුණක් පමණි. අද දින යවන ලද පළමු ඕවරයේ අවසන් පන්දුවේදී මාකස් හැරිස් දවාගනිමින් තරගයේ වැඩි වාසී ශ්‍රී ලංකා පිලට ලබාදීමට ළහිරු කුමාර සමත්විය. ළහිරු තිරිමාන්න අතට උඩපන්දුවක් ලබාදෙමින් මාකස් හැරිස් දැවීයන විට ලකුණු 44 ක් රැස්කර සිටි අතර හතරේ පහර 6 ක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය.

තවත් ලකුණු 6 ක් ඕස්ට්‍රේලියානු පිලට එක්වන විට ඊයේ රාත්‍රි මුරකරු පිතිකරුවා ලෙස පිටියට පිවිසි නේතන් ලයන් පිටියෙන් ඉවත් කිරීමට සුරංග ලක්මාල් සමත්විය’ කුසල් මෙන්ඩිස් රැකගත් උඩපන්දුවත් සමගින් ලකුණක් ලබාසිටි ලයන් දැවී ගියේය, පළමු දිනට ඊයේ (24 වැනිදා) තරගය අවසන් කරනවිට ඕස්ට්‍රේලියාව කඩුලු 2 ක් දැවී ලකුණු 72 ක් රැස්කර සිටියේය.