January 20, 2019

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

චීන්නු හදේ හදපු කපු පැළයේ අලුත්ම කථාව

මිනිසා මුල් වරට සඳ මත පා තබන්නේ 1969 ජුලි 20 වැනිදාය. ඇපලෝ 11 නමැති ඇමරිකන් රොකට්ටුවෙන් සඳ ආසන්නයට ගිය ඔවුහු ඇපලෝ ලූකා නමැති මොඩියුලයේ නැගී හඳ මතට පහත් වූහ. මිනිසා සඳ ජය ගැනීම මනුෂ්‍ය වර්ගයා ලද සුවිශාල ජයක් බව පිළිගනු ලැබේ. එහෙත් ඇත්ත කතාව එයද? මෙය වූ කලී ඇමරිකා සහ සෝවියට් රුසියාව සිය රටවල බලය අභ්‍යවකාශයට ගෙන ගොස් තරග වැදීමට සැලැස්වීමකි. එදා මේ තරගයෙන් ඇමරිකාව ජයග‍්‍ර‍්‍රහණය කළේය. ඉතා ක‍්‍ර‍්‍රමානුකූල ලෙස අභ්‍යාවකාශයෙන් බිමට වැටෙන්නට පටන් ගත් සෝවියට් රුසියාව 1991 දෙසැම්බර් 26 වැනිදා වන විට සම්පූර්ණයෙන්ම මහ පොළොවට කඩාවැටී රටවල් 14 කට වෙන් විය.

අද වෝල්දොවා, එස්තෝනියා, ලත්වියා, ලිතුවේනියා, කසකස්තාන්, කිරිගිස්තාන්, තජිකිස්තාන්, තුර්ක්මෙනිස්තාන්, උස්බෙකිස්තාන්, රුසියාව, ආර්මේනියාව, අසර්බයිජානය, ජෝර්ජියාව, යුක්රේනය ලෙස ස්වාධීනව තිබෙන රටවල් සමූහය එදා සෝවියට් දේශය ලෙස එක රටට තිබූ රටවල්ය. ඇමරිකානුවන් සඳ ජය ගැනීමෙන් පසු සෝවියට් සංගමය ඉතා ක‍්‍රමානුකූල ලෙස අභ්‍යවකාශ තරණයෙන් ඉවත් වනු දක්නා ලදී. රුසියාව තව කාලයකට සඳ පැත්තට නොයන බව තහවුරු කරගත් පසු ඇමරිකාවද සඳට ගොඩබැසීම අත්හැර දැමීය. ඒ වෙනුවට අභ්‍යවකාශ සංචාර ව්‍යාපෘති සඳහා මුදල් ආයෝජනය කිරීමට පටන්ගත් ඔවුහු අභ්‍යවකාශයේ තැන්පත් කරන ජාත්‍යන්තර පර්යේෂණ මධ්‍යස්ථාන කිහිපයකට දායක වෙමින් කල්ගත කිරීමට පුරුදු වූහ.

china2 – වෙනත් ග‍්‍රහලෝකවල පදිංචියට යෑම සම්බන්ධයෙන් මනුෂ්‍ය වර්ගයා තුළ සෑම කල්හිම මහත් උනන්දුවක් විය. මෙහිදී හටගත් ලොකුම ප‍්‍රශ්නය වූයේ එහි ගිහින් කරන්නේ මොනවද? යන කාරණයය. මේ නිසා මනුෂ්‍ය ආහාරයට සුදුසු පැළෑටි සඳ මත පැළ කළ හැකිද යන කාරණය කෙරෙහි මිනිස්සු උනන්දු වූහ. එහි මූලික පියවරක් වශයෙන් කපු ඇට සහ වෙනත් බීජ වර්ග කිහිපයක් වපුරන ලද යානයක් සඳ මතට යවා එහිදී එම ඇට පැළවීමට සැලැස්වීමට චීන විද්‍යාඥයෝ පියවර ගත්හ. ඒ පිළිබඳ කතාවයි මේ.

chinaya 3 ජනවාරි 2 වැනිදා සඳ මතට ගොඩබස්වන ලද Chang’e 4 Landen (චැංගේ 4) නමැති අභ්‍යාවකාශ යානයට සම්බන්ධ Yutu 2 නමැති රථය තුළ ඉතා සාර්ථක ලෙස කපු ඇටයක් පැළවූ බව වාර්තා විය. මේ කපු ඇටයෙන් පළමුවන පත‍්‍රය පිටතට ඇදී එන විට එයට පුරෝගාමී වූ චීනය මහත්සේ සතුටට පත්විය. මේ කපු පැළය ඉන් දින කිහිපයකට පසු මියගිය නමුත් කපු ඇටය තුළින් පත‍්‍රයක් පිටතට ඇදී ඒමට මතුයම් දවසක අභ්‍යවකාශ තරණයේදී හා වෙනත් ග‍්‍රහලෝක මත ජනාවාස ඉදිකිරීමේ කටයුත්තේදී සුවිශාල බලාපොරොත්තුවක් ලෙස මහ පොළොව මත ඉතිරි විය. මේ කපු ඇටය පැළවුන Cheng’e යානය සහ Yutu 2 රෝවරය ගොඩබස්වන ලද්දේ මෙතෙක් කිසිදු පෘථිවි යානයක් පහත් නොකළ ආවාට ප‍්‍රදේශයක් තුළටය. යානය ගොඩබස්වා කපු ඇටය පැළවීම දක්වා කාලය තුළ සෙන්ටිගේ‍්‍රට් අංශක 127 ක උෂ්ණත්වයක් සඳ මතින් වාර්තා විය. (සාමාන්‍යයෙන් වතුර උතුරන්නේ සෙන්ටිගේ‍්‍රඞ් අංශක 100 දීය.)

එහෙත් කපු ඇටය පැළවී දෙදිනක් ගතවත්ම චන්ද්‍ර ආවාටය තුළ තිබූ උණුසුම සෙන්ටිගේ‍්‍රඞ් අංශක – 170 දක්වා පහළ ගියේය. ඒ සමගම කුඩා කපු පැළය සිය කෙටි ජීවිත කාලය අවසන් කළේය. මේ සමගම චෙංගේ 4 යානාවද Yutu රෝවරයද නිද්‍රාජනක තත්ත්වයකට පත්විය. එයට හේතුව සඳ මතට රාත‍්‍රිය උදාවී තිබීමයි. සඳ මත රාත‍්‍රිය සති දෙකක් දිගුය. එවැනි රාත‍්‍රියක් තුළදී චෙන්ගේ 4 යානයේ හෝ රෝවරයේ සූර්ය විදුලි කෝෂවලට ආලෝකය නොලැබෙන නිසා විදුලියක් හටගන්නේ නැත. මෙබඳු කාලයක් තුළ යළි විදුලිය ලැබෙනතුරු බැටරිවල තැන්පත්ව ඇති විදුලිය ඉතා පරෙස්සමින් පරිහරණය කිරීමට සඳ මත ගොඩ බැස තිබෙන යානයකට මුහුණ දීමට සිදුවේ. චෙන්ගේ 4 යානයට මේ දිනවල සිදුව ඇත්තේත් එයමය. කපු ඇටයේ පත‍්‍රයට අවශ්‍ය ප‍්‍රභාසංස්ලේෂණ ක‍්‍රියාවලිය සඳහා අවශ්‍ය සූර්යාලෝකය කිසියම් පාලනයක් යටතේ Yutu රෝවරය තුළට යම් ප‍්‍රමාණයක් ඇතුළුවීමට සලස්වන ලදී.

අභ්‍යාවකාශයෙහි පැළ වැවීම සඳහා විද්‍යාඥයන් තුළ උනන්දුවක් හටගත්තේ 1930 සිටය. ඒ අනුව 1946 ජුලි මාසයේදී ඇමරිකානුවෝ බඩ ඉරිගු ඇට කිහිපයක් රොකට්ටුවක තැන්පත් කර අභ්‍යවකාශයට යැවූහ. ඊළග වටයේදී ඔවුහු රයි නමැති ධාන්‍ය විශේෂයත් කපු ඇට කිහිපයකුත් අභ්‍යාවකාශයට යැවූහ. පසුව මේ සියල්ලම පොළවට ගෙන්වාගෙන පැළ කරන ලදී. වසර 1971 දී ඇට වර්ග 500 ක් ඇපලෝ 14 යානය තුළ තැන්පත් කළ ඇමරිකානු විද්‍යාඥයෝ ඒවා සඳ වෙත යවා යානය පොළවට පැමිණි පසු එම ඇට ආපසු ලබාගෙන පැළ කළහ. චන්ද්‍ර කක්‍ෂය තුළදී ඒවාට කිසිදු බලපෑමක් වී නැති බව පෙනී ගියේ ඒ සියල්ලම ඉතා හොඳින් පැළවූ හෙයිනි.

මෙයින් පසු එළඹෙන්නේ Space Station යුගයයි. එනම් අභ්‍යවකාශ මධ්‍යස්ථාන යුගයය. මේ යුගයේදීත් සෝවියට් දේශයේ යම් ප‍්‍රමාණයකට අභ්‍යාවකාශයේ සිටියේය. 1982 දී ඔවුනට අයත් Space Station අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘථිවි කක්‍ෂයේ ගමන් කරමින් සිටියේය. මේ මධ්‍යස්ථානය තුළ ඉතා සාර්ථක ලෙස ඉරිගු වගා කිරීමට හැකිවිය. මේ වන විට අභ්‍යවකාශ මධ්‍යස්ථාන තුළ පැළ වර්ග සහ ඇට වර්ග විශාල වශයෙන් වවා තිබේ. චීන ගෝවා, තිරිගු, සහල්, ටියුලිප් රෝස ලූනු, ග‍්‍රීන්පිස්, කඩල, රාබු, සලාද කොළ, සුදුලූනු, පිපිඤ්ඤා, පාර්ස්ලි, අල, උළුහාල්, ගෝවා, සූරියකාන්ත යනාදිය මෙසේ වවන ලද එළවළු සහ ධාන්‍යය.