කලකට පෙර එක්තරා කාර්මික පුහුණුවකදී දකුණු ඇමරිකානු ජාතිකයෙක් මට මුණ ගැසිණි. ඔහුගේ ඇඟිලි දෙකක් තිබුනේ නැති හෙයින්, අඬු පඬු ඇල්ලීම අමුතු ආකාරයකට කළේය. එසේ ඇඟිලි නැතිවීම ඔහු උපන් ආකාරය වෙන්නට ඇතැයි සිතූ හෙයින් ඒ ගැන මා ඔහුගෙන් විමසුවේ නැත. නමුත් ඔහු මගේ මුහුණේ ඇති ප්‍රශ්නාර්ථය දකින්නට ඇත. ඔව්, එය ඔහු පිරන්හා හෙවත් පිරානා මසුන් අල්ලන්නට ගොස් වුනු දෙයකි.ඔහු පිරන්හා මසුන් ගැන බොහෝ දේ කිව්වද, ඒ සියල්ල මට මතක නැති වුවද වැදගත් කරුණු කීපයක් තවමත් මතකයේ පවතී. මේ කාලයේ අන්තර් ජාලයෙන් පිරානා මාළුන් ගැන විස්තර සොයා ගත හැක. එහෙත් මේ මාළුන් සමඟ ජීවත්වුණු කෙනෙක් සමඟ කතා කිරීම කුතුහලය ගෙන දෙන දෙයක් විය.ලෝකයේ මිනිසුන් ආහාරයට ගැනීමට පසු බට නොවන සතුන් ඇත. එයින් සුදු මෝරා [Great white shark] එක සතෙකි. ඔවුන් සිටින බවක් නොදන්නා ස්ථානයක පීනන කෙනෙක් හෝ බෝට්ටුවක් පෙරළී ගිය අවස්ථාවක ඔවුන් විසින් මිනිසුන් දඩයම් කල අවස්ථා ඇත. සිංහයන් සහ කොටියන් විසින්ද මිනිසුන් මරා දැමූ අවස්ථා ඇත. එහෙත් මේ එක සතෙක් වත් පිරන්හා හෙවත්, පිරානා මාළුවා තරම් සාහසික වන්නේ නැත. ඔවුන් පැමිණෙන්නේ රංචු වශයෙන් වීම නිසා සතෙක්ට හෝ මිනිසෙක්ට ලෙහෙසියෙන් ඉන් මිදිය නොහැක.සාමාන්‍යයෙන් සෙන්ටි මීටර් 15 ක් 25ක් පමණ දිග, දුටු පමණින් අහිංසක මාලුවෙක් මෙන් පෙනෙන පිරන්හාට, සාපේක්ෂව ශරීරයේ ප්‍රමාණයට වඩා විශාල තද කෝෂයක් ඇති හිසක් ඇත. නමුත් සමහරවිට අඩි දෙකක් පමණ දිගට වැඩෙන පිරානා මාළු විශේෂද ඇත. ඇස් සමහරවිට තද රතු පාටක් ගනී. සුදෝ සුදු පැහැයෙන් යුතු දත් ත්‍රිකෝණාකාර වන අතර යටි හක්ක බුල් ඩෝග් වර්ගයේ බල්ලෙක්ට මෙන් ඉදිරියට තල්ලු කළ හැක. මුව වැසූ විට, උඩු හක්කේ සහ යටි හක්කේ ඇති දත් ඉතා හොඳින් එකට සම්බන්ද වේ.ඒ දත් වලට අසුවන සතෙක්ට වන දෙය හරියට බටර් දීසියක ඇති බටර් කුට්ටියකට තියුණු පිහි සිය ගණනකින් ඇන්නා වැනිය. පැන පැන හපා කෑම පිරන්හා ගේ ක්‍රමය වේ.එක හපා කෑමකින් මස් ග්රෑම් සීයක් පමණ ඒ දත් වලින් කඩා ගත හැක. ජලයෙන් ගොඩ දැමූ මාලුවෙක් වුවද භයානක වේ. තද ලී කෑල්ලක් මේ මාළුවාගේ මුවට ලං කල විට, පිරන්හා ගේ මුවේ හැඩයට එයින් කෑල්ලක් කඩා ගන්නවා ඇත. මේ සතාට දකුණු ඉන්දියානුවන් කියන්නේ ‘දත් මාළුවා’ හෙවත් Tooth fish කියාය. ස්පාඥ්ඥ භාෂාව කතා කරන රටවල් වල මේ මාළුවාට කියන්නේ, ‘යක්‍ෂ මාළුවා’ සහ ‘මිනී මස් කන මාළුවා’ [Canibal fish] සේය.මේ මාළුවා ගැන ඇරිස්ටෝටල් පවා විස්තර කර ඇත.පිරන්හා සතෙක්ට අසුවන රාත්තල් සීයක දෙසීයක සිව්පාවෙක්ගේ ඇට ටික පමණක් මිනිත්තු ගණනකදී ඉතුරු කරනු ඇත. 1976 වසරේ ‘උරුබු ගංගාවේ’පාලම් පාරුවක නංවා තිබුණු බසයක් අනෙක් පස වෙරළට යන විටදී ගංග මැදදී පාරුව පෙරළිණි. ඒ ගංගාවේ පිරන්හා මසුන් බහුලව සිටියහ. පසුව එහි සිටි 38 දෙනාගේ ඇට කටු පමණක් දකින්නට ලැබිණි.පිරානා මාළුන් 400-500 ප්‍රමාණයකට මිනිසෙක් කා ඉවර කරන්නට ගත වන්නේ විනාඩි 5ක් පමණ කාලයක් පමණි.ඇමසන් ද්‍රෝණියේ ජීවත් වන බොහෝ මසුන් මරන්නන් ගේ ඇඟිලි හෝ පාද කොටස් මේ සතුන් කා දමා ඇත.පිරන්හා මාළුන් වඩාත් භයානක වන්නේ උන් ඉන්නා ජලාශ වල ජලය අඩු වී ඔවුන්ගේ ස්වභාවික ආහාර අඩු වූ විටදීය. පිරානා මාළුන් හරක් ජලයට බැස සිටියොත් ඔවුන්වද කා දමති. බ්‍රසීලයේ එක හරක් විශාල සේ ඇති කරන ආයතනයක වසරකදී කා දමන ලද හරක් සංඛ්‍යාව 1200 ක් විය.

තියුණු ඇස් ඇති වීම, ගන්ධය දැනීම සහ ජලයේ ඇතිවන ස්ඵන්දන දැනීමෙන් ගොදුර කරා ලඟා වේ. ලේ ගඳක් දැනුනහොත් මේ සතුන් ඒ ප්‍රදේශයට වට වේ. කිසිම හේතුවක් නිසා මේ සතුන් සිටින පරිසරයේ කුකුල් මස් හෝ වෙනත් මාළු සුද්ද කිරීම භයානක දෙයකි.ගැහැණු මාළුවා බිත්තර දැමීමෙන් පසු ඇතිවන කුඩා මාළු පැටවුන් දින කීපයක් පමණ ශාඛ භක්ශිකයන් වේ. මේ අතර ඒ කුඩා මාළුවන් ගේ ආරක්ෂාවට මෙන් පිරිමි මාළුන් ඒ අවට සැරි සරයි. කිසියම් වෙනත් මාලුවෙක් ඒ අසළට පැමිණ මේ කුඩා මාලුවෙක් අල්ලා ගැනීමට උත්සාහ කිරීමට වන්දිය වන්නේ ක්‍ෂණික මරණයයි. පිරානා මාළුන් ගොදුරකට කඩා පනින්නේ විශාල වේගයකිනි.මේ මාළුන් ඉතා සංවිධානාත්මකව ගොදුරට කඩා පැනීම ඔවුන්ගේ භයානක කම වැඩිවන තවත් හේතුවකි. එක් මාලුවෙක් ගොදුරේ මස් කඩා ගන්නා තැනින්ම අනෙක් මාළුවා මස් කඩා ගනී. එක් එක් තැනින් මස් කඩා ගැනීමක් නැත. එහෙයින් ඉතා ඉක්මනින් ගොදුරේ ඇට පමණක් ඉතිරි වේ. මගේ හිතවතා කී පරිදි, ඔවුන් එකතු වූ විට සහ ගොදුරකට කඩා පනින විට හැසිරෙන්නේ ගල් කඩන ‘කන්වේයර් බෙල්ට් යන්ත්‍රයක්’ ලෙසිණි. පර්වතයේ එක තැනක්ම කඩා ගල් ඉවත් කිරීම වැනිය.පිරන්හා මාළුන් කෑමට ගන්නා ලැබේ. කෑමෙන් පසු ඉතිරි වන හක්ක කතුරු සේ භාවිතා කල හැක. එයින් සම් වැනි දේ පහසුවෙන් කැපිය හැක. අතීතයේ දත් භාවිතා කලේ, ඊතළ වල මුලට සවි කිරීමටය. මේ සතුන්ගේ දත් වල හැඩය ඒ සඳහා හරියටම ගැලපී යන්නේය. වැරදීමකින් හෝ මේ සතුන් ඔවුන් සාමාන්‍යයෙන් ජීවත් වන ජලාශ වලින් ගෙනැවිත් වෙනත් ජලාශ වලට දැමීම ඉතාමත් භයානක දෙයකි. මේ මාළුන් හෝර්ටන් තැන්නේ ජලාශයක සිටී යයි කලක් ආරංචියක් පැතිර ගොස් තිබිණ.එහි සත්යාසත්ය බව නම් නොදනිමි.මේ මාළුවා ගැන යූ ටියුබ් වීඩියෝ ඇත. ඔවුන් කොතරම් ඉක්මනින් ගොදුරක් කා දමන්නේද යන්න ඒවායේ ඔබට දැකිය හැක.