කාෂ්ඨක අව්ව සුළං රැලි හා මුසුව හමා යන්නේ, ගත දවන උණුසුම් සුළඟක් ලෙසට ය. එනමුදු, අපි ඒ සුළං රැලි කපාගෙන, මහ ලේවාය පහුකරමින්, හම්බන්තොට සිට තිස්‌සමහාරාම පාරේ ඉදිරියට ගමන් ගතිමු. ඒ, උඩමලල ප්‍රදේශය සොයාගෙන ය. ඒ, මහනුවර යුගයේ රජකම් කළ රාජාධිරාජසිංහ (1781-1798) රජතුමාගේ රාජ සභාවේ කවටයා විදිහටත්, ඔහුගේ අධිකාරම්වරයකු හැටියටත් සේවය කළ අපූර්ව කවියකු ලෙස ප්‍රකට අන්දරේගේ සොහොන පිහිටි ස්ථානය දැකබලාගනු රිසියෙනි.සද්ද විද්ද පළඟ පතිර රාජපක්‍ෂ වික්‍රමසිංහ මුතුකුමාරණ අධිකාරම් ලෙස ප්‍රකටව සිටි කවට අන්දරේ පිළිබද නොදන්නා කෙනකු නැති තරම් ය. එදාමෙදාතුර අප සමාජයේ සිටින සෑම කෙනකුම ඔහුගේ උපහාසාත්මක කවි මෙන් ම, කතා පිළිබඳව ද හොදින් ම දනී. ඔහුගේ ක්‍රියාකලාපය කෙබදු ද කියා ද දනී. උඩමලල ප්‍රදේශය යනවිට රජවාසල කවටයාගේ පිළිරුවක් , මාවත අයිනේ දැක ගැනීමට පුළුවන.එතැනින් වමට හැරී මීටර් දෙතුන් සීයක් පමණ දුරක් ගෙවමින් ගියවිට , මේ සොහොන පිහිටි ස්ථානය වෙත ළගාවිය හැකි ය. හම්බු පදුරුවලින් ගහණ, ඕලු මල් පිපුණු විලක් අසබඩ මේ අපූරු ස්ථානය සකස් කර තිබේ. ඒ කවට අන්දරේට ගරු කිරීමක් වශයෙනි.රජ වාසලේ සිටින අතරේ ඔහු රෝගාතුර විය. නැවත ගමට යා යුතු බව ඔහු තීන්දු කර, රජුට දැන්වූයේ, තමන්ට ද රජකු මෙන් ගමට යා යුතු බව ය. රජු ඔහුට දෝලාවක් ද, රාජපුරුෂයන් ද, රාජ ඇඳුම් ද, ඔටුන්නක් ද ලබා දී යැව්වේ ය. සබරගමුවේ පැල්මඬුල්ල හා උඩවලව හරහා යමින් සිටි ඔහුට තද පිපාසයක් දැනුණු බවත්, තමන් රෝගාතුර වූ බව වටහා ගත් ඔහු, තමා මරණයට ළඟාවී ඇති බවත්තේරුම් ගත්තේ ය. ඔහු සෙමෙන් පලු ගසක් යට හිඳ ගත්තේ ය. ඒ හුස්ම ගැනීමේ අපහසුතාවක් දැනුණු හෙයිනි. දෑත් දෙපා දෙපසට විහිදාගත් ඔහු, කවියකින්ම තම ජීවිතයේ අවසන් හුස්ම හෙළුවේය.

රිදී කළේ රන් කොතලේ බීපු මට – නිකම් කළේ පැන් නැතිවිය පිපාසෙට
කොට්‌ට මෙට්‌ට ඇඳ ඇතිරිලි තිබු මට – මෙහෙමත් කල යාද පළු වීර ගස්‌ යට

මෙය, ඔහුගේ අවසන් කවිය බව සැලකේ. කොතරම් රාජ ගෞරව, සැප සම්පත් ලැබුණත්, දිය පොදක්‌ පිපාසෙට නැතිව, හම්බන්තොට තිස්‌සමහාරාම ප්‍රදේශයේදී, නැත්නම් තමන් උපන් ගමට යන අතරතුර රෝගාතුරව, ගහක්‌ යට මිය යෑමට සිදුවුණු බව මේ කවියෙන් කියැවේ. අන්දරේ සොහොන සකසා ඇත්තේ ද , ඔහු මියගිය ආකාරය සිහිගන්වමිනි.රජවාසලේ කවටයා හෙවත් අන්දරේ පිළිබඳ ලොකු කුඩා කවුරුත් තුළ ඇත්තේ දැඩි ඇල්මකි. ඒ, ඔහු හා බැඳුණු කතා වර්තමානය වනවිට ද අතිශයින් ම ජනප්‍රියව ඇති බැවිනි.අන්දරේගේ නාමය ජනතාව අතර පතළ වූයේ, කන්ද උඩරට රජවාසලේ රාජාධිරාජසිංහ රජුගේ සමීපතමයකු, කවි කතා කීමෙහි සමතකු ලෙසට ය. ඔහු රජු සෘජුවම උපහාසයට ලක් කළ ද, මැති ඇමැතිවරුන්ගේ මෝඩකම් හෙළා දැක්ක ද, කවදාකවත් රාජ උදහසට ලක් නොවී කටයුතු කිරීමේ හැකියාවක් ඔහු සතු විය. ඔහුගේ කතාවකින්සිත රිදවා ගත් අයකු වුව ද, යළි සිනා ගැස්සීමේ උපාය ද ඔහු හොදින් ම දැන සිටි නිසා ය.අන්දරේ යන්න සිංහල නමක් වුවත්, ඒ නම බිඳී ආවේ පෘතුගීසි භාෂාවෙහි එන “ඇන්ඩෲ” යන්නෙන් බව සමහරුන්ගේ මතයයි. ඔහු මාතර කිරලවැල්ලේ ගුරුන්නැහැගෙවත්තේ දී උපත ලැබුවෙකි යැයි සමහරු කියති. මාතර දික්‌වැල්ලෙදි ඔහු ඉපැදුණු බව සමහරු පවසති.අන්දරේ කුඩා කල පටන්ම අලසයකු ලෙස ජීවත් වූ බව ද පැවසේ. අන්දරේ හිටිවන කවියෙකි. පොතපතින් ලත් දැනුමක් ඔහු සතු නොවූව ද, මුඛරිකමින් හෙබි තැනැත්තෙකි. එසේ ම ඔහු, හුදෙක්ම විනෝදකාමී චරිතයකි.සිය බිරියගේ වියෝවෙන් පසු ඔහුගේ කවි සිත ශෝකයෙන් බර වූ බවත්, පසුව දෙවැනි විවාහයක් කරගන ඔහු සිය පුතු ද කැටුව නිරතුරුවම රජවාසලට ගිය බැව ද පැවසේ.අන්දරේගේ මරණය රජුට ගෙන ආවේ ශෝකයකි. එහෙත්, මේ ස්ථානයට පැමිණි රජුට, අන්දරේගේ ඉරියව්ව දැක සිනා පහළ විය. “අන්දරේ නුඹ මා හැමදා සතුටින් සැනසුවා” යැයි රජු පැවසූ බව ද මින් කියැවේ. මිය ගොස් සිටි ඉරියව්වෙන්ම, රජුගේ ගෞරව මැදින් අන්දරේ අවසන් ගමන් ගිය බව ද සැලවේ. වර්තමානයේ උඩමලල ස්ථානයේ දැකිය හැක්කේ, අන්දරේ මියගිය ආකාරයෙන් ස්ථාපිත ස්මාරකයකි.