ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර පැවති තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගාවලියේ මුල්ම ශතකය වාර්තා කලේ යොවුන් පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුය. පිතිකරු ලයිස්තුවේ වගකීම් සහගතම ස්ථානයේ එනම් අංක 03 ස්ථානයේ ක‍්‍රිඩා කරන මෙම නව යොවුන් පිතිකරුවාට ලෝකය පුරා ක‍්‍රිකට් රසිකයන්ගෙන් සමාජ ජාලවල ඉහලම ප‍්‍රතිචාර ලැබෙමින් ඇත. මේ අතර ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයද සිය නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයේ මීළඟ තාරකාව ඔහු විය හැති බවයි. අවිශ්ක ප්‍රනාන්දු ලබාගත් ශතකයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම මුල්වරට මෙම ලෝක කුසලාන තරගාවලියේ දකුණු 250 සීමාව ඉක්මවා ලකුණු ලබා ගැනීමට සමත් විය. එංගලන්ත වේගවත් තණතීරු මත ඉපිලෙන පන්දුවලට අත දිගහැර පන්දුවට පහරදෙමින් කිසිදු බියක් නොදක්වන අවිශ්ක ප්‍රනාන්දුගේ පිතිකරණ විලාශය ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයන්ගේද නොමද පැසසුමට ලක්ව තිබේ. අවිශ්ක මේ වන විට පවසන පසුවන්නේ විසි එක්වැනි වියේය.

එසේම ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එංගලන්තයේ චෙස්ටර් ලී ස්ට්‍රීට්හිදී පැවැති ලෝක කුසලාන තරගයේදී කොදෙව් පිලට එරෙහිව ලකුණු 23 ක ජයක් අත්කර ගැනීමට සමත් වුනා. අවිශ්ක ප්‍රනාන්දු විශිෂ්ට ශතකයක් ලබාගනිමින් අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ සිය මංගල එක්දින ශතකය ලබා ගැනීම ඊයේ තරඟයේ කැපීපෙනුනා. ශ්‍රී ලංකා පිතිකරුවෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 6 ක් දැවී ලකුණු 338 ක් ලබාගත්තා. ඊට පිළිතුරු වශයෙන් කොදෙව් පිලට ලබාගත හැකිවූයේ කඩුලු 9 ක් දැවී ලකුණු 315 ක් පමණයි. තරගය නිමා වීමට පන්දුවාර 3 ක් තිබියදී පන්දුව අතට ගත් ඇන්ජලෝ මැතිව්ස් මෙවර ලෝක කුසලාන තරගාවලියේ යැවූ පළමු පන්දුවෙන්ම N Pooran දවාගත් හෙයින් කොදෙව්වන්ගේ ජයග්‍රාහී බලාපොරොත්තුව ගිලිහී ගියා. අන්තර්ජාතික ක්‍රිකට් ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට තමන්ට අවස්ථාව ඇතැයි තහවුරු කළ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 103 කින් ලකුණු 104 ක් ලබාගත්තේ ජගත් ක්‍රිකට් විචාරකයන්ගේ නොමඳ ප්‍රශංසාවට පාත්‍ර වෙමින්.. අලංකාර පහර වැලකින් චෙස්ටර් ලී ස්ට්‍රීට් නරඹන්නන් පිනවූ අවිශ්ක 43 වැනි පන්දුවාරයේදී S Cottrell ට ගැසූ දැවැන්ත හයේ පහර රිවර් සයිඩ් ක්‍රීඩාංගණයට රැස්වූ පිරිස අම්නදානන්දයට පත්කිරීමට සමත් වුණා.. කොදෙව් පන්දු යවන්නන් තඹයකට මායිම් නොකළ අවිශ්ක, හතරේ පහර 9 කින් සහ හයේ පහර දෙකක්ද සහිතව, පන්දු 100 කදී සිය මංගල එක්දින ශතකය සම්පූර්ණ කළේ ලෝක කුසලාන තරගකදී ශතකයක් ලබාගත් තුන්වැනි ලාබාළතම පිතිකරුවාද ලෙසින්.