රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට පමණක් එල්ල වූ චෝදනාවට ආණ්ඩුව නියෝජනය කරන සියලුම මුස්ලිම් ඇමැතිවරු ඉල්ලා අස්වීම සන්දර්ශනාත්මකව සිදු කළේ කිසියම් අදිසි අදෘශ්‍යමාන බලවේගයක අවශ්‍යතාව මත යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන පැවැසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පුංචිබොරැල්ල වජිරාශ්‍රමයේ පැවැති පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමිනි.

පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර සිටම රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතදී චෝදනා එල්ල වුවද කබීර් හෂීම්, රවුෆ් හකීම් ඇතුළු අනෙක් අයට එලෙස චෝදනා එල්ල වී නොතිබුණු බවද ඒ මහතා කීය. එක් මුස්ලිම් ඇමැතිවරයකුට එරෙහිව එල්ල වූ චෝදනාවක් මුල්කරගෙන අන්තවාදයට උඩගෙඩි දෙමින් ආණ්ඩුවේ සිටි සියලුම ඇමැතිවරු සන්දර්ශනාත්මකව එකට ඇමැති ධුරවලින් ඉල්ලා අස්වීම නරක පූර්වාදර්ශයක් යැයිද බන්දුල ගුණවර්ධන මහතා පැවැසුවේය.

එහිදී වැඩිදුරටත් මන්ත්‍රිවරයා මෙසේද කීය. “ජාතික අසමඟිය, ආර්ථික කඩා වැටීම හමුවේ තවදුරටත් රට අවුල් ජාලයට ඇද දැමිය යුතු නෑ. පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්න. ජනතාවට රට තුළ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ඉඩ සලසා දෙන්න.කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් කීවා වගේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු 225ගේම වත්කම් පරීක්ෂා කළ යුතුයි. යමෙක් අසීමිතව මුදල් උපයාගෙන තිබේ නම් එය පරීක්ෂා කළ යුතුයි. විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ වත්කම් පරීක්ෂා කළ යුතුයි කියලත් අපි විශ්වාසකරනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා සොහොනක් සඳහා වැය කළ මුදල් පිළිබඳ සෙවීමට ක්‍රියා කළත් මහ බැංකු කොල්ලයට එරෙහිව විශේෂ අධිකරණ පිහිටුවා පරීක්ෂණ සිදු කළේ නෑ. මහ බැංකු කොල්ලයට වගකිවයුතු හිටපු මහ බැංකු අධිපතිට විශේෂ අධිකරණයක් පිහිටුවා පරීක්ෂණ සිදු කළේ නෑ.