පසුගිය දා ඇතිවුණු ත්‍රස්තවාදී ක්‍රියාවන් හේතුවෙන් මෙවර වෙසක් කලාප පවත්වන්නේ නැති බව පැවසෙනවා. කිතුනු පල්ලිවලට එල්ල කළ මේ ප්‍රහාරයන්වලදී බෞද්ධ ප්‍රජාව කිතුනුවන්ගේ දුකේදී එකට සිටි නිසා මෙවර වෙසක් පොහොය වෙනුවෙන් සෑම කිතුනු නිවසකම වෙසක් කූඩුවක් එල්ලන ලෙස ජනප්‍රිය ගායක නලින් පෙරේරා කිතුනුවන්ගෙන් ඉල්ලා සිටිනවා. එම සටහන පහතින් ..

ඔවුන් අප සමග එකට හඩා වැලපුණහ. අපගේ දේව මෙහෙයන් පවත්වන්නට ඔවුන්ගේ විහාරස්ථාන වල ඉඩ සලසා දුන්නහ. වෙසක් දන්සැල් වලට වියදම් කරන මුදල් අපගේ දේවස්ථාන පිළිසකර කිරිම වෙනුවෙන් පරිත්‍යාග කිරිමටද ඔවුන් සූදානම්ය. ඔව්, ඒ අපේ සහෝදර බෞද්ධ ජනතාවය. රටේත්, පොදු ජනයාගේත් ආරක්ෂාව මත මෙවර වෙසක් කලාප පැවත්වීම තහනම් කිරීමට රජය තීරණය කොට ඇත.  අපට ශක්තියක් වූ බෞද්ධ ජනතාවට කෘතගුණ සැලකීමක් ලෙසත් ඔවුන්ට අවශ්‍ය මොහොතක ඔවුන් වෙනුවෙන් පෙළගැසීමට කිතුණුවන් වන අපද සූදානම් බව සංකේතවත් කිරීමටත්.. වෙසක් පොහෝ දින අපගේ නිවෙස් වලත් වෙසක් කූඩුවක් එල්ලා හෝ පහනක් දල්වා බුදු රජාණන්වහන්සෙගේ තෙමගුල සැමරීමට සහෝදර බෞද්ධ ජනතාව සමග එකතු වෙමු…! මෙදා සැරේ වෙසක් කලාප නැති වේවි. නමුත් අපි එකතු වී අපේ නිවෙස් වල එක පහනක් හෝ දල්වා වෙසක් සිරියෙන් මුලු රටම එක වෙසක් කලාපයක් කරමු….