ෂැන්ග්‍රිලා හෝටලයට හා සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයට ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහෝදරයන් දෙදෙනාගේ ඡායාරූප කිහිපයක් ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. ඉල්හාම් ඉබ්‍රාහීම් ෂැන්ග්‍රිලා හෝටලය තුල බෝම්බ ප්‍රහාරය සිදුකල බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර ඉන්ශාෆ් ඉබ්‍රාහීම් සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේදී බෝම්බ ප්‍රහාරය සිදුකල බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. මොවුන්ගේ ප්‍රහාරවලින් විදේශිකයන් 41 දෙනකු මරණයට පත් වුනු අතර ඊට බ්‍රිතාන්‍ය ජාතිකයන් අටදෙනකු ඇතුළත්. ඉල්හාම් ඉබ්‍රාහීම් සහ ඉන්ශාෆ් ඉබ්‍රාහීම් දෙමටගොඩ ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයින් දෙදෙනෙක්. එම ව්‍යාපාරිකයා, ව්‍යාපාරික සම්මාන උළෙලෙකදී සම්මානයට පාත්‍ර වී ඇති අතර එම සම්මානය ලබාගැනීමට අදාළ ව්‍යාපාරිකයා ගොස් ඇත්තේ ඉන්ශාෆ් ඉබ්‍රාහීම් නමැති බෝම්බකරු සමගයි.

ඉන්ශාෆ් ඉබ්‍රාහීම් සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයට ඇතුළු වී ඇත්තේ ව්‍යාජ නමක් සදහන් කරමිනුයි. එමෙන්ම ඔහු ව්‍යාපාර චාරිකාවක් යෑම සදහා පැමිණි බව හෝටලයට පවසා තිබෙන බවත් සදහන්. ඔහු හෝටලයට ඇතුළු වී උදෑසන ආහාර ගනිමින් සිටි පිරිස දෙස විපරමින් බලා ආහාර ගැනීමට පුටුවකින් වාඩිවෙන සේ පස්සට ඉදිරියට අඩි කිහිපයක් ගොස් පසුව මිනිත්තු කිහිපයකින් බෝම්බය පුපුරුවාගෙන තිබෙනවා. ඒ උදෑසන 9.12 ට. ඉල්හාම් ඉබ්‍රාහීම් ෂැන්ග්‍රිලා හෝටලයට ගොස් ඇත්තේද කිසිම තැතිගැනීමකින් තොරවයි. තරමක් විශාල බෑගයක් කරේ එල්ලගෙන දෙදෙනා හෝටල් වෙත ගොස් තිබෙන අතර ඉල්හාම් ඉබ්‍රාහීම් ෂැන්ග්‍රිලා හෝටලයට ගොස් ඇත්තේ තවත්  බෝම්බකරුවෙක් සමග බවත් සදහන්. එම දෙදෙනා විදුලි සෝපානය තුල යම් කතාබහක් කරගන්නා අතර පසුව ඔවුන් සෝපානයෙන් හොටලයේ තෙවැනි මහල වෙත පැමිණෙනවා. ඒ අවස්ථාවේ බොහෝ පිරිසක් උදෑසන ආහාරගනිමින් සිටි අතර දෙදෙනා වෙන වෙනම ගොස් වැඩිපිරිසක් සිටින ස්ථානයක නතර වී බෝම්බ පුපුරා ගත් බවත් කැමරාවල සටහන් වී තිබෙනවා.